එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලු රාජ්‍ය විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට ආණ්ඩුව තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2500ක දීමනාවට අමතරව රුපියල් 3000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම්ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම පිණිස ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යූ. ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත්කරන ලද බවත්, එමඟින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යූහය ක්‍රියාත්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 7ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් ආණ්ඩුවට දැරීමට සිදුවන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය අය වැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර රජය ගනු ලැබූවේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බවද ඇමැතිවරයා කීය.
මේ ලබා දෙනුයේ විශ්‍රාමිකයින්ගේ ගැටලුවට ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද සියඹලාපිටිය මහතා කීය. මීට සමගාමීව ඇමැති සියඹලාපිටිය මහතා සහ රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර ඊයේ (02) පෙරවරුවේ විශේෂ රැස්වීමක් ද පැවති අතර විශ්‍රාම වැටුප් විශමතාව ඉවත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාතිකය ඉහළ නැංවිම සම්බන්ධව එහි දී සාකච්ඡාවට ලක්කෙරිණි.
DMN