සදුදා, 05 අගෝස්තු 2024 11:48

e-Visa වංචාවෙන් දවසකට කෝටි පහක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට.. Featured

ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන e – Visa වංචාව හරහා දිනකට මෙරටින් කෝටි 5 කට ආසන්න මුදලක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට ගමන් කරන බවත් ඊට එරෙහිව නගන ලඳ පෙත්සම් නිසාවෙන් අධිකරණයෙන් ලබාදුන් තහනම නිසා

මීට සම්බන්ධ පුද්ගලයන් මේ වනවිට මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කරමින් සංචාරක කර්මාන්තයට මේ හේතුවෙන් බලපෑමක් වී ඇති බවට කතාවක් සමාජගත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

e – Visa ක්‍රමයට එරෙහිව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සුමන්දිරන් යන මහත්වරුන් විසින් ගොනුකරන ලද පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

 

පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකට සම්බන්ධ වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

 

“මේ රටේ ඉතිහාසයේ සිදු වෙච්ච විශාලම වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීලා තියෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර, ෆයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නේ පෙනුනේ නැහැ. නමුත් අපි පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් හැටියට මමත්, රවුෆ් හකීම් මහතාත්, සුමන්දිරන් මහතාත් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින් ඉදිරිපත් වුණා. රටක පළවෙනි ආරක්ෂක වළල්ල අපේ රටේ දේශසීමාව. ඒ දේශසීමාව මුර කරන්න ඉන්නේ ආගමන, විගමන දෙපාර්තමේන්තුව. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වගකීමක් පුද්ගලික අංශයට, එහෙමත් නැත්නම් විදේශිකයන්ට පවරලා දීලා නැහැ ලෝකෙ කවුරුවත්. ඒක නිසා තමයි පසුගිය මැයි මාසේ දවසක තරුණයෙක් තමන්ගේ පවුලත් එක්ක මේ රටට එන කොට ඉන්දියන් ජාතිකයෝ රටේ වීසා නිකුත් කරනවා කියන එක මේ රටට ගෞරවනීය විදිහට හෙළි කළේ. නමුත් මේ රටේ මහජන ආරක්ෂක ඇමති සහ පොලිසිය කළේ මොකක්ද? තමන්ගේ බලය යොදවලා ඒ අයුක්ති සහගත දේශද්‍රෝහී වැඩේ හෙළි කරපු පුද්ගලයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

 

ඇත්තටම දේශ සීමා පාලනය විදේශිකයන්ට පවරා දීම තරම් දේශද්‍රෝහිත්වයක් තවත් නෑ. අපි පුදුම වෙන්නෑ මේ අය ගැන. මොකද මේ සමහර අය කොටි සංවිධානය බලවත් වෙලා හිටපු කාලේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරපු අය. ඉතින් වරක් දේශද්‍රෝහියෝ සදහටම දේශද්‍රෝහියෝ බව නැවත වතාවක් ඔප්පු වෙලා තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ජාතික සම්පත, ජාතියේ ආරක්ෂාව, දේශමාමකත්වය ගැන කතා කරන බොහෝ දෙනෙක් රටේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට පවරා දීම ගැන දක්වන නිහඬතාවය. රටක ජාතික සම්පත්, රාජ්‍ය මූල්‍ය ජනතාව දේශපාලඥයින්ට සහ රජයේ නිලධාරීන්ට පවරන්නේ එය ඔවුන් ඉතා කාර්යක්ෂමව පාලනය කරලා නැවත ජනතාවට ලබා දෙයි කියන පරමාර්ථයෙන්. පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට බංකොලොත් කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වරදකාරයෝ කළේ. ඔවුන් ඔවුන්ට භාර දීපු, මේ භාරය නිසි ආකාරයෙන් කළමනාකරණය කළේ නැහැ කියන පදනම මත. එම පදනම මත තමයි අපිත් මේ නඩු පවරලා තියෙන්නේ.

 

ටෙලිකොම් ආයතනය 50% කට අධික කොටස් ප්‍රමාණයක් තියෙන රජය සතු ආයතනයක්. 2012 ඉඳන් ඉතාම වැදගත් විදියට මේ වැඩ කටයුත්ත කළා. අපි ඒකේ ගෞරවය කිසි පැකිලීමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙපළට දෙනවා. මොකද රටේ දේශසීමාව පිළිබඳ ප්‍රශ්නයේදී ටෙලිකොම් ආයතනය මේ සඳහා තෝරා ගැනීම ගැන. ඒ වගේම ඒ කාලයේ ආපු මේ electronic travel authorization එහෙම නැත්නම් ETA ක්‍රමය ලෝකේ බොහෝ තැන්වල දේශද්‍රෝහී වුණේ නෑ. මේ කලාපයේ කොහොමවත් තිබුනේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වුණා මොබිටෙල් එකට. මොබිටෙල් ආයතනය දිගින් දිගටම මේ ක්‍රියාවලිය කරමින් ආවා. 2020 දී මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන්ට බලතල ලබා දුන්නා. මොබිටෙල් ආයතනය තමන්ගේ අතින් 50% කට වඩා වියදම් කරලා තියෙනකොට ඒ වැඩ කොටස් නතර කරලා මේ ක්‍රියාවලිය පසුගිය අප්‍රේල් 17 වෙනිදා භාර දුන්නා මේ විදේශීය සමාගමකට. ETA වෙනුවට, e – Visa කියලා එකක් හදන්න යනවා කියලා. අද අපිට පේනවා නිකං හාහූවක් හදන්න යනවා සංචාරකයින්ට දැන් එන්න විදිහක් නෑ ආදී වශයෙන් කියලා. මතක තියාගන්න දෙසැම්බර් මාසේ පැය 08 යි කල් දුන්නේ මොබිටෙල් එකට ඉවත් වෙලා මේ ඉන්දියන් සමාගමට භාරදෙන්න කියලා.

 

රජයේ නඩු තීන්දුවකට එරෙහිව ආගමන විගමන පාලකවරයා යනවා නම් ඔහුට එරෙහිව ලබන සතියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්. ඔහු බැඳිලා ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේ මගින් සිද්ධ වුණේ මොකක්ද මේ රටට ඉදිරි අවුරුදු16 දී නැති වෙන්න ගිය ඩොලර් බිලියන 2.7 දැවැන්ත ධනය මේ රටට උරුම කරලා දෙන එක තමයි අපි කල පළවෙනිම මෙහෙවර. මතක තියාගන්න දවසකට කෝටි 5 කට ආසන්න මුදලක් මේ හරහා සංසරණය වෙනවා ඒ විදේශීය සමාගමකට. අන්න ඒක වැළැක්වීම සඳහා තමයි අපි ක්‍රියා කළේ.

 

මේ මගින් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදිලා තියෙනවා. අද මේ රටට සංචාරකයෙක් එනවනම් ආණ්ඩුවට ඩොලර් 75 ක් ගෙවන්න ඕනේ. මේ විදේශ සමාගමට ඩොලර් 25 ශත 77 ක් ගෙවන්න ඕනේ. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන අනෙක් රටවල් වල ඩොලර් ශත 50 එහෙම නැත්නම් කිසිම ඩොලරයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා සංචාරක ව්‍යාපාරයට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් යැපෙන මිනිස්සුන්ට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සංචාරක ව්‍යාපාරයේ පිරිසුත් මේ නඩු වරයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

 

මේ නඩු වරයට මමත්, අපේ සහෝදර මන්ත්‍රිතුමන්ලා දෙදෙනාත් කිසිම නීතිවේදියෙකුගේ සහයක් නැතුව අපේ පෙත්සම් වෙනුවෙන් අපි පෞද්ගලිකව පෙනී හිටියා. ඇත්තටම අද මොබිටෙල් ආයතනය විකුණන්න තීරණය කරලා තියෙනවා ටෙලිකොම් එකත් එක්ක. අද ආණ්ඩුවේ ඒ කොටස් ප්‍රමාණය අගය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 200 කට. මේ ව්‍යාපාරය තිබුණා නම් මේ වගේ නම ගුණයක් එම ආයතන වලට ලැබෙන්න නියමිතව තිබුණා. ඒ නිසා රට අඳුනාගත යුතුයි යම් යම් බලපෑම් කණ්ඩායම් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍ය ක්‍රියාවලීන්ට බලපෑම් කරලා මේ ප්‍රශ්නයේ බරසාරභාවය යට ගහන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. හැබැයි අපි මේ අරගලය අතාරින්නෑ. මං නැවත මතක් කරනවා ආගමන විගමන පාලකතුමාට ඔබට මේ උසාවි නියෝගය ලැබිලා ඔබ ක්‍රියා නොකරනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳ ක්‍රියා මාර්ගයක් ගන්න.

 

මේ රටේ සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ත්‍රාඩ දේශපාලනය, ජාවාරම්කාර දේශපාලනය නිසා තමයි රට බංකොලොත් වුණේ. අම්මගේ මිනිය ගෙදර තියාගෙන බූරු ගහනවා වගේ වැඩ කරන මේ දේශපාලකයින්ට එරෙහිව නැගිටින්න. ඔබව මර්දන කිරීමට පොලීසිය අනෙකුත් ආයතන යොදාගෙන ගෙන ගිය කාලය දැන් ඉවරයි.

 

මේ අමාත්‍යාංශයේම දැන් සිදුවෙමින් යන ඊළඟ ක්‍රියාවලිය තමයි පාස්පෝට් ලක්ෂ 5 ක් මුද්‍රණය කිරීමට යන ක්‍රියාවලිය. ETA , e – VIsa කලා වගේ, e – passport නමින් ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙනුත් ඉදිරි කාලයේදී අපි සෘජුව ක්‍රියා කරනවා. ඒකට දායක වෙලා ඉන්න මේ පොලිස් ඇමති ඇතුළු සියලු දෙනාගේම තත්වය හෙළි කරලා, ඒ ක්‍රියාවලියේ යම් දූෂණයක් වෙත්නම්, එයට එරෙහිවත් ක්‍රියා කරන්න අපි කටයුතු කරනවා.”

 

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website