සිකුරාදා, 09 අගෝස්තු 2024 09:36

විශ්‍රාම වැටුප් වැඩි කිරීමට මැතිවරණ කොමිසම දිගටම හරස් වෙයි Featured

මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර වැරදි පූර්වාදර්ශයක් ලබා දීම සම්බන්ධයෙන්

මෙම 12 වැනිදාට පෙර පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ඊයේ (08) ලිපියකින් දැනුම් දී තිබේ.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන සමයක රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අතුරු දීමනාවක් ගෙවීම නුසුදුසු බැවින් එම ගෙවීම ඔක්තෝබර් මස දක්වා කල් තබන ලෙස මැතිවරණ කොමිසමේ පැවැති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමකදී දැනුම් දුන් බවත් එම උපදෙස්වලට පටහැනිව එම දීමනාව සැප්තැම්බර් මාසයේ සිටම ගෙවන ලෙස පළාත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමෙන් සියලු රජයේ සේවකයන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(4)(අ) අනුව්‍යවස්ථාව අනුව ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළදී රජයට අයත් මොනයම් හෝ දේපළක් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට භාවිත කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව සඳහන් කරන අතර (ආ) අනුව්‍යවස්ථාව අනුව ඒ හා සම්බන්ධ නියමයන් ක්‍රියාත්මක කිරීමට රජය සතු දේපළ භාරව සිටින සියලු නිලධාරීන් බැඳී සිටින බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website