සෙනසුරාදා, 10 අගෝස්තු 2024 08:09

අලි-මිනිස් ගැටුමට Spa Ceylon සමග ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය එකතුවෙයි Featured

Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ අත්වැල් බැඳගනිමින් 2024 ලෝක අලි ඇතුන්ගේ දිනය සැමරීම වෙනුවෙන් දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඉන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාව සඳහා දායකවීමට ලැබීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර සිටී.

‘Help Save The Majestic Ceylon Elephant’ (තේජාන්විත ශ්‍රී ලාංකීය අලි ඇතුන් රැකගැනීමට උපකාර කරමු) සුවතා ධාවන තරඟය සමඟින් 2024 අගෝස්තු 11 වැනි දින පෙ.ව. 6.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් මෙම වැඩසටහන් පෙළ ආරම්භ වේ. ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ සංරක්ෂණ කටයුතු සඳහා සහය දැක්වීමේ අරමුණින් පවත්වනු ලබන මෙම ‘ධාවන තරඟය’ කිලෝමීටර 5 ක සහ කිලෝමීටර 2 ක දුර ප්‍රමාණයන්ගෙන් සමන්විත වන අතර එහිදී හොඳම ධාවකයින් තිදෙනාට Spa Ceylon සහ ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය වෙතින් වටිනා තෑගි පිරිනැමේ. තම සුවතාවය පිළිබඳව ළැදියාවක් සහ උනන්දුවක් දක්වනන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර https://docs.google.com/forms/d/e/1FAIpQLSfem7ZO2e9o9TiH_yY62VRuSRx4NVcOEwiIzf_Oef2alxccZQ/viewform දිගුව හරහා මාර්ගගතව හෝ එදින තරඟ ආරම්භයට පෙර පැමිණ ඒ සඳහා ලියාපදිංචි විය හැක.

මෙම ධාවන තරඟයෙන් අනතුරුව, අලි-මිනිස් ගැටුම හේතුවෙන් මව හෝ පියා අහිමි වූ දරුවන් සඳහා ‘ගජ නැණ සහන’ නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ද දියත් කෙරේ. පසුගිය වසර පහ තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගල මරණ 689 ක් වාර්තා වී ඇති අතර ඉන් 2023 දී පමණක් පුද්ගලයින් 169 දෙනෙකුට සිය ජීවිතය අහිමි විය. එසේ අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවි අහිමි වූවන්ගෙන් වැඩි පිරිසක් තම පවුල පෝෂණය කරන පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නන් වන අතර ඔවුන්ගේ අකල් මරණය එම පවුලේ සමාජ ආර්ථික තත්ත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බැවින් එසේ පීඩාවට පත් ජනතාවගේ යථාතත්වයට පත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථයයි. ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු අදියරේදී, අලි මිනිස් ගැටුම හේතුවෙන් 2023 වසරේදී දෙමාපියන් අහිමි වූ පාසල් සිසුන් ප්‍රතිලාභීන් ලෙස සලකනු ලබන අතර, එහිදී ඔවුන්ගේ විධිමත් පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක් මාසිකව ශිෂ්‍යත්ව මුදලක් ප්‍රදානය කෙරේ. අයදුම් කිරීමේ ක්‍රියාවලිය එම උත්සවයේදී ප්‍රකාශයට පත් කෙරෙන අතර පළමු ශිෂ්‍යත්වලාභීන් පිරිස මාසයක් ඇතුළත ප්‍රකාශයට පත් කෙරේ. මීට සමගාමීව අලි ඇතුන් මුහුණ දෙන විවිධ සංරක්ෂණ ගැටළු සහ ඒවා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය තම දායකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ Spa Ceylon සම නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය මහතා, “අපේ රට ආසියාවේ වැඩිම අලි ගහන ඝනත්වයක් ඇති රට වන අතර, ඔවුන් අපගේ උරුමයේ වැදගත් කොටසක්. ඒ නිසා ඔවුන් ආරක්ෂා කිරීම අපේ වගකීමක් වෙනවා. එය වනජීවී සංරක්ෂණවේදීන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ඉලක්කයක් විය යුතුයි. Spa Ceylon ශ්‍රී ලාංකාවේ අලි ඇතුන් සංරක්ෂණ සඳහා උත්සාහ දැරීම සහ අලි මිනිස් ගැටුම පිළිබඳ දැනුවත් කිරීම යන දෙආකාරයෙන්ම ඉදිරියට යා හැකි හොඳම ක්‍රමෝපායන් පිළිබඳව කටයුතු කිරීමට ඉතා උනන්දුවෙන් කැපවී සිටී.” යනුවෙන් සඳහන් කළේය.

Spa Ceylon සිය 'Ceylon Elephant' නිෂ්පාදන එකතුව විශේෂයෙන් මෙම කාර්යය වෙනුවෙන් කැප කර ඇත. මෙම 'Ceylon Elephant' එකතුවේ සෑම මිලදී ගැනීමක්ම අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා වන ප්‍රයත්නයන්ට දායකත්වය ලබාදෙන අතර ලෝකයට, එහි මිනිසුන්ට සහ පරිසරයට පරිපූර්ණ සුවයක් ලබාදීම යන සන්නාමයේ අරමුණ යළි යළිත් තහවුරු කරයි.

සභාව ඇමතූ ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අලි මිනිස් සහජීවනය පිළිබඳ අනුකමිටුවේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා, “1894 වසරේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය විසින් මෙරට ජෛවවිවිධත්වයේ සුවිශේෂ කොටසක් ලෙස වන අලි ඇතුන්ගේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර වනාන්තර සහ ඒවායේ වෙසෙන ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ අලි ඇතුන් මත බව අවධාරණය කරයි.  යම් හෙයකින් අලි ඇතුන් වඳවී ගියහොත් අනෙකුත් බොහෝ ජීවීන්ද ඔවුන් අනුගමනය කරනු ඇති අතර එමගින් මෙම දූපතට උරුම වූ පොහොසත් ජෛව විවිධත්වය ඉක්මනින් අතුරුදහන්ව යනු ඇත. අලි මිනිස් සහජීවනය පිළිබඳ අනුකමිටුව පහත සඳහන් උපාය මාර්ගවලට අනුකූලව මෙම ගැටුම් අවම කිරීම සහ අලි ඇතුන් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරයි.

1.         අලි ඇතුන් සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය රාමුව ශක්තිමත් කිරීම

2.         අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා අදාල අංශ අතර සහයෝගීතාව සවිබල ගැන්වීම

3.         අලි ඇතුන් සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමට අදාල පාර්ශවකරුවන් සහභාගීත්වය සඳහා උනන්දු කිරීම

4.         විද්‍යාත්මකව සනාථ කරන ලද අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අඩු වියදම් ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම

5.         අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් විද්‍යාත්මක අවබෝධය වැඩි දියුණු කිරීම

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, දරුවන් දරිද්‍රතාවයෙන්පීඩාවට පත්ව ඇති අතර බොහෝ විට ඔවුන්ට ජීවත්වීමට සහ සෞඛ්‍යසම්පන්නව වැඩීමට අවශ්‍ය කරන ආහාර, සනීපාරක්ෂාව, නවාතැන්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ලැබෙන්නේ නැත. අලි-මිනිස් ගැටුමෙහි වින්දිතයින්ගේ පවුල්වල තත්වය ඉතාමත් අභාග්‍ය සම්පන්න වන අතර බොහෝ විට පාසල් වියේ පසුවන දරුවන්ට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තම පාසල් අධ්‍යාපනය අකාලයේ අවසන් කිරීමට සිදුවෙයි. ඒ හේතුව නිසාම එවැනි පවුල්වල යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ කාලීන අවශ්‍යතාවය හඳුනාගෙන අනෙකුත් සැමරුම් කටයුතුවලට අමතරව ‘ගජ නැණ සහන’ ශිෂ්‍යත්ව වැඩසටහන දීප ව්‍යාප්තව හඳුන්වා දීමට අපි සැලසුම් කළෙමු.” යනුවෙන් ප්‍රකාශ කළේය.

‘Help Save The Majestic Ceylon Elephant’ වැඩසටහනේ තවත් අංගයක් ලෙස දැනුවත් කිරීමේ බස් රථ සංචාරයක් සහ ප්‍රසිද්ධ සංරක්ෂණවේදීන්ගේ දේශනයන් ද සූදානම් කර ඇත. අලි-මිනිස් ගැටුමෙහි දීර්ඝ කාලීන බලපෑම සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සමඟ සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා 2024 අගෝස්තු 12 වන දින ලෝක අලි ඇතුන්ගේ දිනයේ දී ප්‍රවර්ධන මෙවලම් සහිත අලංකාර තට්ටු දෙකේ බස් රථයක් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ධාවනය කෙරේ.

මෙම වැඩසටහන් මාලාවේ අවසන් අංගය වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සමග එක්ව සංවිධානය කරන මාසික දේශනය ‘වන අලි සමඟ සහජීවනය’ - බොට්ස්වානා සහ ශ්‍රී ලංකාව අතර සංසන්දනයක් මැයෙන් පවත්වනු ලබන්නේ සුප්‍රසිද්ධ සංරක්ෂණ විද්‍යාඥ ආචාර්ය ටෙම්පි ඇඩම්ස් සහ ආචාර්ය සුමිත් පිළපිටිය යන විද්වතුන් විසිනි. 2024 අගෝස්තු 15 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජස්මින් ශාලාවේදී එම දේශනය පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාව  මුහුණ දෙන සැලකිය යුතු සමාජ ආර්ථික සහ සංරක්ෂණ අභියෝගයක් වන අලි-මිනිස් ගැටුම කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීමට විද්වතුන් අපේක්ෂා කරයි.

බොට්ස්වානා රාජ්‍ය අලි ඇතුන් 130,000 ක් සහ මිලියන 2.7 ක ජනතාවක් සඳහා නිවහන සපයයි. වාර්ෂිකව අලි ඇතුන් 350 - 400 ක් පමණ මිය යන අතර, මිනිස් මරණ සංඛ්‍යාව සාමාන්‍යයෙන් තනි ඉලක්කම් අගයක පවතී.

වර්ෂ 2011 නිල සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 5,879 ක් සිටි අතර දැනට දළ වශයෙන් මිලියන 22 ක ජනතාවක් වාසය කරති. 2023 දී අලි මිනිස් ගැටුමෙන් අලි ඇතුන් 476 ක් සහ පුද්ගලයින් 169 ක් මිය ගියහ.

එකිනෙකට වෙනස් ප්‍රමාණයෙන් සහ ජනගහනයෙන් යුත් ජාතීන් දෙකක් සඳහා අලි ඇතුන් වටිනා ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික සම්පතකි. ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා සහ ඔවුන් ලබා දෙන ප්‍රතිලාභ සඳහා, මිනිසුන් තම අසල්වැසියන් ලෙස ඔවුන් සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතුව ඇත.

ආචාර්ය ටෙම්පි ඇඩම්ස් ඕස්ට්‍රේලියානු සංරක්ෂණ පරිසර විද්‍යාඥවරියකි. ඇය 2012 සිට උතුරු බොට්ස්වානාවේ සිට අප්‍රිකාවේ සැවානා අලි වාසභූමි පුරා අලි සංරක්ෂණ සහ පර්යේෂණ කටයුතු වන නිරතව ඇත. ඇය ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සමඟද මීට පෙර කටයුතු කිරීම නිසා ශ්‍රී ලාංකීය සංරක්ෂණ ප්‍රජාවට ඇය අලුත් නොවේ. ටෙම්පි ලෝක සංරක්ෂණ සංගමයේ අප්‍රිකානු අලි පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර අලි මිනිස් ගැටුම් කාර්ය සාධක බලකායේද අසුන් ගනී. ඇය බොට්ස්වානා මානව-වනජීවී ගැටුම් ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවක් ද වේ.

ආචාර්ය සුමිත් පිළපිටිය ප්‍රකට ශ්‍රී ලාංකීය වනජීවී සංරක්ෂණවේදියෙකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණයේ කැපී පෙනෙන චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම දේශන මාලාවේ ප්‍රධාන කොටස්කරුවෙකු වන ඔහු විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුමට අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය වෙත නිරන්තරයෙන් සම්පත් දායකත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ මාසික දේශනය සඳහා සුවිශේෂී අනුග්‍රහය ලබා දෙන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවයි. ආචාර්ය ඇඩම්ස්ගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා කාරුණික අනුග්‍රහය සපයන්නේ Spa Ceylon විසිනි. දේශනය සාමාජිකයින්ට මෙන්ම සාමාජිකයින් නොවන අයටද විවෘත වන අතර ඇතුල්වීම නොමිලේ.

Spa Ceylon පිළිබඳව:

2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නම ගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140ක පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website