සදුදා, 12 අගෝස්තු 2024 12:16

හෝමාගම බාර් දෙකක ලයිසන් අත්හිටුවූ සුරාබදු නිවේදන උසාවියෙන් තහනම් කරයි Featured

හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජනතාවගෙන් විරෝධතා එල්ලවී ඇති බවට චෝදනා නඟමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන්හල් දෙකට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා ඒවා මුද්‍රා තබා ඇතත් එය සිදුකර ඇත්තේ වෙනත් පටු අරමුණක් පෙරදැරිව බවත් නිසි පරිදි බදු මුදල ගෙවා නීත්‍යනුකූල ලබාගත් එම බලපත්‍ර අත්හිටුවීම නීත්‍යනුකූල නොවන බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම සලකා බලා විනිසුරු සෝභිත රාජකරුණා මහතා එම නියෝගය කළේය.

සමීර අත්තනායක හා ජී.එම්. ජයසුන්දර යන දෙදෙනා නීතිඥ සහන් විජේවර්ධන මහතා මගින් එම පෙත්සම් ගොනු කර තිබිණි. එම පෙත්සම් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් 13 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ක කුරේ, නීතිඥ ජේ. මොරායස් යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website