සදුදා, 12 අගෝස්තු 2024 12:02

පාසල් ඩිජිටල්කරණය සිදුවන්නේ මෙහෙමයි Featured

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි. එම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් තමන්ගේ මැදිහත් විමෙන් මෙරටට ලැබී ඇති බවයි.

ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය. ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතින බවත් විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතු ව ඇති බවත් සඳහන් කළේ ය.

චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කර අවසන් කර ඇති බවත් අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන තත්වය කර ළඟා වීම සඳහා අප මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතු ව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. ඒ අනුව 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් අභියෝග මැද මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලි ද අතනොහැර ඉදිරියට රැගෙන ආ බව කී අමාත්‍යවරයා මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතින බවත් එහි අරමුණ, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය බවත් පැවසී ය.

පාසලේ පළමු ශ්‍රේණියේ සිට තොරතුරු තාක්ෂණය සමගම කෘත්‍රීම බුද්ධි විෂය ද උගන්වන ලෙස පාර්ලිමේන්තුවේ දී ඉල්ලීම් ඉදිරිපත් වුව ද එහි දී ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ ව යු‍නෙස්කෝ සංවිධානයේ මූලික අධ්‍යාපන නිර්ණායක හා නිර්දේශ කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇති බවත් පළමුවෙන් ම මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වසර තුනක දී මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවූ පසු ප්‍රවීණයන් කණ්ඩායමක් සමග එක් මධ්‍යස්ථානයක සිට සියලු‍ ම පාසල්වලට දැනුම බෙදා හැරීමේ ඉඩ ප්‍රස්ථා විවර වන බව ද කී අමාත්‍යවරයා හදිසියේ ගුරුවරුන් අසනීප වුව ද එවිට අධ්‍යාපන ක්‍රියාවලිය බාධාවකින් තොර ව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළේ ය. එනිසා ගුරුවරුන්ගේ වගකීම වන්නේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට අභිප්‍රේරණයක් විය හැකි පරිදි වේගයෙන් ඉදිරියට යන දරුවන්ට පෙරමග පෙන්විය හැකි තාක්ෂණයෙන් නිපුණ ගුණාත්මක සංවර්ධනයක් ගුරු භූමිකාව තුළ ඇති කරගැනීම බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website