සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2024 12:04

ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ක කාලය තුළ රේගුවට කෝටි ලක්ෂයක් Featured

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ.

කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරින්ට අවස්ථාව ලබාදීම මත මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි. නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමි කර ගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු කීවේය.

සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර, එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා පෙන්වා දුන්නේය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය මඟපෙන්වීම හා දායකත්වය සේම තම දෙපාර්තමේන්තුවේ කටයුතු ස්වාධීනව කිසිදු බලපෑමකට යට නොවී ක්‍රියාත්මක වීමේ නිදහස ලබාදීම මත මෙම තත්ත්වයට පහසුවෙන් ළඟා වීමට හැකියාව ලැබුණු බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශ වීමට හැකි වූ බවත් අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරින්ට ක්‍රියාත්මක වීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රමවේද ආශ්‍රිතව පැවති වංචා හා දූෂණ දුරු කරමින් හොර ජාවාරම් සම්පූර්ණයෙන් අත්හිටුවමින් වැඩකටයුතු කිරීමට සමස්ත රේගු කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ද මීට මනා පිටිවහලක් වූ බව සරත් නෝනිස් මහතා පැවසුවේය.

ස්ථාන මාරුවීම් සහ සමස්ත රේගු පරිපාලන ක්‍රමවේද විධිමත්ව සිදු කිරීමටත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් යටතේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවම මෙහෙයවමින් එය නිතැතින් විමසමින් හා අත්‍යවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් පරිපාලන කටයුතු තවදුරටත් සිදු කෙරේ.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website