බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:41

උතුරුමැද සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කළ විගඩමෙන් තිස්හය කෝටි අනූඑක්ලක්‍ෂයක් වතුරේ Featured

දේශපාලනඥයන් හා නිලධාරීන් හිතූ මනාපයට වියදම් කරලා

උතුරුමැද පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුවේ

අධ්‍යක්ෂ ආර්. එම්.ඩබ්. දිල්රුක් රත්නායක
උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩ සටහන යටතේ හබරණ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකට රුපියල් තිස්හය කෝටි අනූඑක් ලක්ෂ හැත්තෑ එක්දහස් එකසිය හැට හයයි සත හැට හතරක (රු. 369,171,166.64) මුදලක් ගෙවීම් කර ව්‍යාපෘතිය අතරමගදී අත්හැර දැමීමේ හේතුවෙන් දැරූ වියදම නිශ්කාර්යය වියදමක් බවට පත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් 2024 වසරේ නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාගේ සංකල්පයකට අනුව හබරණ නගරය සංචාරක කලාපයක් බවට සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ 2017 ජනවාරියේදී මෙම සංචාරක මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කොට තිබුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 584, හබරණ ග්‍රාම නිලධාරි වසමේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් සභාව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් සමග රුපියල් 598,013,000 ක මුදලකට ගිවිසුම් ගතව තිබුණි.

මේ යටතේ එළිමහන් රංග පීඨයක්, කබානා හයක්, සීගිරිය නැරඹීම සදහා සංචාරක කුළුනක්, ගොඩනැඟිලි කිහිපයක් ඇතුළු ඉදිකිරිම් කටයුතු මෙම පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට බාරදී තිබුණි.

මෙම ඉදිකිරිම් කටයුතු 2017 වසරේ ජනවාරියේදි ආරම්භ කළ අතර 2018 වසරේ අප්‍රේල් මස 01 වැනි දින අවසන් කිරීමට නියමිත විය.

2023 දෙසැම්බර් මාසයේ විගණන දිනය වන විටත් උක්ත ඉදිරිකිරීම් අතර මග නවතා දමා වසර හයකට ආසන්න කාලයක් ගතව තිබු බවත් විගණන වාර්තාවේ සඳහන්ය.

මෙම ඉදිකිරීම්වලට අයත් කොටස් කිහිපයක් පමණක් ඉදිකිරීමට වැය කළ රුපියල් 369,171,165 ක මුදල නිශ්කාර්යය වියදමක් බවට පත්ව, ඉදිකිරිම් කළ එම කොටස්ද විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවත් නිරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ එකී වාර්තාවෙන් හෙළිදරව් කොට තිබුණි.

මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකළ නිරික්ෂණයේදී අනාවරණය වු තවත් කරුණු කිහිපයක් පිළිබඳවද උතුරු මැද ප්‍රධාන ලේකම්වරයාගේ අවධානයට ලක්කොට තිබේ. එනම් රුපියල් 11,611,385 ක් වටිනා ඉදිකිරිම් ද්‍රව්‍ය වැඩබිමේ ඇති බව දක්වමින් එම මුදල දොළොස්වන බිල්පතින් ගෙවා තිබූ නමුත් එවැනි වටිනාකමකින් යුක්ත ඉදිකිරිම් ද්‍රව්‍ය ප්‍රමාණයක් වැඩ බිම තුළ නොතිබීම.

තවද වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස ගෙවා තිබු රුපියල් 119,602,600 ක මුදලින් රුපියල් 45,171,484 ක් තවදුරටත් අයකර ගත යුතුව තිබියදී අත්තිකාරම් සුරක්ෂණය කල් ඉකුත්වීමට ඉඩ හැරීමේ හේතුවෙන් එම මුදලද පළාත් සභාවට අහිමිවී ඇතැයිද එකී වාර්තාවේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. එම්.ඩබ්. දිල්රුක් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ පැවසීය.

“මෙම ඉදිකිරීම් ආරම්භ කරලා දැනට වසර පහකටත් වැඩියි. මුදල් කොමිෂන් එකෙන් පවා මේ සඳහා අනුමැතියක් ලැබී තිබුනේ නැහැ. මේ ව්‍යාපෘතිය අවසන් කරන්න රජයට තව දුරටත් විශාල මුදලක් වැයවෙනවා. මේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා යන වියදම පිළිබඳව තක්සේරුවක් ලබාදෙන ලෙස පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රජයට මේ ව්‍යාපෘතිය කරන්න අමාරුයි. ඒ නිසා රජයේ ආරක්ෂක අංශ වලින් සහාය ලබාගෙන එම සාමාජිකයන්ගේ ශ්‍රමයෙන් මේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා සාකච්ජා සිදුකරමින් පවතිනවා. තවදුරටත් මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් නොකලොත් සිදුකරන ලද ඉදිකිරිම් පවා විනාශ වී යාමේ හැකියාවක් තිබෙනවා. රාජ්‍ය ආයතන මේ වගේ ව්‍යාපෘතිවලට යන්න ඕන නැහැනේ. හිටපු දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ හිතූ මනාපයට වියදම් කරපු මේ මුදලින් වෙනත් අත්‍යවශ්‍ය දේවල් බොහොමයක් කරන්න තිබුණා. මේ සඳහා වියදම් කළ මුදලින් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් පළාත් සභාවට ලැබී නැති බවද අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසීය.


නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website