බදාදා, 02 ඔක්තෝබර් 2024 10:22

පසුගිය ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීමේ තීන්දුව යළි සමාලෝචනයට – කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් Featured

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවසීය.

රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දියයුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් ජීවන වියදම වැඩිවනවිට ජීවත්වීම සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් වියයුතු බවත් විජිත හේරත් ඇමැතිවරයා කීවේය.

පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ගෙන තිබූ කැබිනට් තීරණය ගැන වැඩිදුර කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා මෙසේ කීවේය.

2025 ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමක් ගැන කැබිනට් මණ්ඩලය තීන්දු කරල තිබුණා. අපට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතු වෙනවා. මුදල් වෙන් කරන්න අයවැය ඉදිරිපත් කරන්න වෙනවා. අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ නිසා ඉදිරි අයවැයක දී තමයි රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරල මෙවැනි වැටුප් වැඩිවීමකට යා හැකිද? නොහැකිද යනවනම් යා හැක්කේ කුමන මට්ටමින් ද අදියර කීයකින් ද යන්න තීන්දු කරන්න වෙන්නේ ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දියි. රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදය ගැන තීන්දුවක් ගනු ලබන්නේ ඉදිරි අයවැයේදියි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:32

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website