අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2024 10:10

රජයේ නව ප්‍රතිසංස්කරණවලදී කාන්තා සහභාගිත්වය ඉහළ නංවන්න Featured

-ජනපති-එජා සහකාර මහලේකම් අතර එකඟතාවක්

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී යළි තහවුරු කෙරිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූවාය.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර ‘බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම’ මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වූවාය.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය පහළ මට්ටමක පැවැතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් විය. ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණපෑමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ. එසේම කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීම ද ඊට හේතුවකි.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවැතීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බවත්ය. මෙම ගැටලුව විසඳීම සඳහා කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළ සහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දුන්නාය.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මඟින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවයි. කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයන් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබාදීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), උපාය මාර්ගික නියැළීම, ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් මාකර් Fadhil Bakeer Markar මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

 

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website