බදාදා, 16 ඔක්තෝබර් 2024 11:14

ධීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක් Featured

ඩීසල් සඳහා උපරිම මිල රු. 250ක්

භූමිතෙල් සඳහා උපරිම මිල රු. 150ක්

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියමක් ලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබා දීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම සිදු කරන බව හෙතෙම කීවේය.

ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25ක ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම සිදුකරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ඩීසල් හා භූමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150කට ද යටත්ව, උපරිම මාස 06ක කාලයක් දක්වා ඩීසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5%ක සහනයක් ද භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධීවර ජනතාවට හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යෑම සිදු කරන බව ඒ මහතා පැවැසීය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය. ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබුණ ද එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නැහැ. එබැවින්, ධීවර කාර්මිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024-10-01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා සහනයන් ලබා දීමට අනුමැතිය හිමි වුණා.

නුවන් කොඩිකාර

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website