සිකුරාදා, 18 ඔක්තෝබර් 2024 10:53

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම විය යුතුයි – ජනපති අනුර කුමාර දිසානායක කියයි Featured

නැවති ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ගැනත් අවධානය

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (16දා) පැවැති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ අතර අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

මෙතෙක් සිදුකර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමගින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේදැයි යන්න ප්‍රශ්නයක්ව පවතින බව කියා සිටියේය.

එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටම ආවරණය වන පරිදි ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.

දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතළ සමාජ ව්‍යසනයක් බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

DVN

 

World News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website