සිකුරාදා, 18 ඔක්තෝබර් 2024 10:42

සැලසුමක් නැතිව ගත් ණය වත්මන් රජයට ගෙවන්න වෙලා Featured

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

ණය ගෙවීම සඳහා කිසිදු සැලසුමකින් තොරව පසුගිය රජය දේශීය වෙළෙඳපොළෙන් මාසිකව රුපියල් බිලියන 800ක පමණ මුදලක් ණය ලෙස ලබා ගෙන තිබෙන බවත් වත්මන් රජයට ණය ගැනීමට සිදුව තිබෙන්නේ එම ණය ගෙවීමට බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි. මෙයට පෙර රජයන් විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගත් ණය ප්‍රමාණය දිගින් දිගටම වත්මන් රජයට ගෙවාගෙන යෑමට සිදුවන බවත් භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ලෙස ලබාගත් රුපියල් බිලියන 4859ක් ඉදිරි වසරක කාලය තුළ කල්පිරෙන බැවින් එය ගෙවීමට රජයට ණය ගැනීමට සිදුවන බවත් ඒ මහතා කීය.

වත්මන් ජනපතිවරයා බලයට පැමිණීමෙන් පසු විශාල ලෙස ණය ලබාගෙන ඇති බවට කෙරෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ මහාචාර්යවරයා මේ බව පැවසුවේය.

එහිදී මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මෙසේද පැවසුවේය.

වත්මන් රජය විශාල ලෙස ණය ගැනීම සඳහා පෙලඹී තිබෙන බවට සාම්ප්‍රදායික මාධ්‍ය හා සමාජ මධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් චෝදනා එල්ල කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ විට පෙනී යන්නේ කලින් රජයන් ලබා ගත් ණය ගෙවීමට වත්මන් රජයට ණය ගැනීමට සිදුව තිබෙන බවයි. ලබාගත් ණය ගෙවීමට පසුගිය රජයන්වලට කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. මේ නිසා දිගින් දිගටම ණය ගෙවීම සඳහා ණය ගැනීමට සිදුවුණා. අපි අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින් ගත් ඩොලර් බිලියන 17ක පමණ මුදලින් ඩොලර් බිලියන 12ක් පමණ ලබාගෙන තිබෙන්නේ 2015-2019 කියන කාලයේදී. ස්වෛරී බැඳුම්කර ලෙස විදේශයන්ගෙන් ගත් ණයවලින් 70%ක් විතර අරන් තියෙන්නේ මේ කාලයේදීයි.

පිච් රේටින් වැනි ආයතන මඟින් ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහළ තලයකට ගෙන ඒමත් සමඟ ලංකාවට විදේශ වෙළෙඳපොළෙන් ණය ගැනීමේ හැකියාව නැති වුණා. ඇත්තටම අපි විදේශ රටවලින් ණය ගැනීම අඩු කරනු ලැබුවේ මේ ණය ගැනීමේ හැකියාව නැති වූ නිසයි. ඒත් එක්කම ද්විපාර්ශ්වීය ණය හා බහු පාර්ශ්වීය ආයතනවලින් ණය ගැනීම් දකින්න ලැබෙනවා. විදේශීය වෙළෙඳපොළෙන් අපි ගත්ත මේ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවත් අනාගතයේදී මේ ණය ගෙවීමට සිදු වෙනවා. දේශීය ණය පිළිබඳ සලකා බැලීමේදී භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ලෙස ණය ගැනීම සිදු කරනවා. සෑම සතියකම රජයේ මුදල් අවශ්‍යතාව මධ්‍යම බැංකුවට දැනුම් දෙන අතර මධ්‍යම බැංකුව දේශීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කර එමඟින් ණය ලබාගෙන රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනවා. මේක සෑම සතියකම සිදුවන ක්‍රියාවලියක්. කලින් රජයන් කාලයේත් මෙය මේ ආකාරයෙන්ම සිදු වුණා. වත්මන් රජයටත් එය ඒ ආකාරයෙන්ම කරගෙන යෑමට සිදුව තිබෙනවා.

මේ වසරේ නොවැම්බර් සිට ලබන වසරේ නොවැම්බර් දක්වා වූ වසරක කාලයක් තුළ කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් ණය වෙනුවෙන් වත්මන් රජයට රුපියල් බිලියන 3774ක් ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම්කරවලින් ගත්ත රුපියල් බිලියන 13,237ක මුදලක් තිබෙනවා. මේ ණය අප ලබාගෙන තිබෙන්නේ 2045 මාර්තු 01 දක්වා ගෙවන්නයි. භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගත් ණයවලින් කල්පිරෙන රුපියල් බිලියන 1125ක් අපි ඉදිරි වසරේදී ගෙවිය යුතුයි. මේ අනුව මෙම වසරේ නොවැම්බර් සිට ලබන වසරේ නොවැම්බර් දක්වා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ලෙස කල් පිරෙන සමස්ත මුදල රුපියල් බිලියන 4859ක්. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් සපුරාගෙන තිබෙන මෙම මුදල් ගෙවීම පැහැරහරින්න බැහැ. එහෙම වුණොත් බැංකු පද්ධතිය දැඩි අර්බුදයකට ලක්විය හැකියි. රජයට ඇත්තටම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලින් පෙර රජයන් ගත් ණය දිගින් දිගටම ගෙවන්න සිදු වෙනවා. මේ ගෙවීම් කරන්න ණය ගන්න වෙනවා. මේ අනුව සෑම සතියකම කල්පිරෙන ණය ගෙවීමට දිගින් දිගටම වෙළෙඳපොළෙන් ණය ගැනීමට රජයට සිදු වෙනවා.

පසුගිය රජයන් ණය ගෙවීමට ණය ගනු ලැබූව ද දිගුකාලීනව මේ ණය බර අඩු කිරීමට ඔවුන් තුළ කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. වත්මන් රජයට සිදු වෙනවා මේ පවතින ණය බර අඩු කරන්න යම් සැලසුමක් අනුව ක්‍රියාකරන්න. මේ වන විට ණය ගෙවීම සඳහා මාසයකට රුපියල් බිලියන 400ක පමණ මුදලක් ණය ලෙස ගැනීමට සිදු වෙනවා. පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේදී රජය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 800ක පමණ මුදලක් ණය ලෙස දේශීය වෙළෙඳපොළෙන් ලබාගෙන තිබෙනවා.

මේ ආකාරයට කිසිදු සැලසුමක් නැතිව ණය ගැනීම නවත්වා අනාගතය සඳහා යම් ආකාරයක සැලසුමක් සකස් කර මේ ණය ගැනීම ක්‍රමානුකූලව අඩු කර ගැනීම වැදගත්. ඉදිරි වසර පහ අවසන් වන විට අවම වශයෙන් දේශීය වෙළෙඳපොළෙන් මාසිකව ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 250-200 මට්ටමකට ගේන්න වත්මන් රජය සැලසුම් කළ යුතුයි. එවැනි සැලසුමක් අනුව ක්‍රියාත්මක කළොත් පමණයි මේ ණය සම්බන්ධ ගැටලුව අවදානමක් නොකර ගනිමින් අපට ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ යැයිද කීවේය.

අසේල කුරුළුවංශ

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website