බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:32

ඇලෝසියස්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි Featured

රුපියල් කෝටි 355ක වැට් බදු (එකතු කළ අගය මත බදු) නොගෙවීම නිසා මාස හය බැගින් වූ සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් හා ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන දෙදෙනා ඇප මත මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ඊයේ (16දා) ප්‍රතික්ෂේප කරන ලදී.

සිය සේවාදායකයන්ට පසුගිය 14 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ එකී දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනාවක් ගොනු කර ඇති බැවින් හා එකී සිරදඬුවම් නියම කිරීමෙන් පසුව එම නඩුව අපරාධ නඩුවක් බවට පත්වන බැවින් සිය සේවාදායකයන් ඇපමත මුදාහැරීමේ බාධාවක් අධිකරණයට නොමැති බව එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැවසීය.

එබැවින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මුල් අවස්ථාවේදී නියම කර ඇති පෙර ඇප හෝ නව ඇප බැඳුම්කර මත ඔවුන් මුදාහරින ලෙසට ද ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා ඉල්ලා සිටියේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් සහතික පත්‍රයක් මත එකී සැකකරුවන් දෙදෙනා ඇතුළු තිදෙනකුට එරෙහිව එම නඩුව ගොනු කර ඇති බවත් එකී දඩය නොගෙවීම නිසා සිය අධිකරණය විසින් එකී සිරදඬුවම් නියම කර ඇත්තේ පනත අනුව විකල්ප දඬුවම් වශයෙන් වන බැවින් විත්තියේ නීතිඥවරයා පෙන්වා දෙන පරිදි එය අපරාධ දඬුවම් ලෙස සැලකිය නොහැකි බවද පෙන්වා දෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website