අඟහරුවාදා, 14 මාර්තු 2023 09:42

මහ බැංකුව IMF ග්‍රහණයට… භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවෙන් ඉවතට… Featured

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

1949 මුදල් නීති පනත ඉවත් කර ඒ වෙනුවට සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් පසුගිය මාර්තු 7 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3 සහ 4 වගන්ති අමු අමුවේ උල්ලංඝණය කරන නිසා ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතියකින් තොරව මේ පනත සම්මත කර ගැනීමට බෑ කියලා තීන්දු කරන මෙන් ඉල්ලමින් අද දිනයේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්ඩී 9/2023 යන නඩුව ගොනු කළා.
අපට තිබෙන තොරතුරු අනුව මේ පනත ඉදිරිපත් කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්ලු. නමුත් අද අපි ණය ගනීවි. හෙට ඒ මුදල් වාෂ්ප වේවි. රටේ ආර්ථිකය නියාමනය කරන මහ බැංකුව රටේ පාලනයෙන් ගිලිහුනොත් ඒ ගිලිහීම සදාකාලික වේවි. ඩොලර් ලබා ගන්න ජනතා පරමාධිපත්‍ය රටේ ස්වාධිපත්‍ය විකුණා දමන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නෑ. අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් කරන්න ආණ්ඩුවට මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙන්න බෑ. ව්‍යවස්ථාවයි මූල්‍ය අරමුදලේ ගිවිසුමයි අතර පරස්පරයක් තිබෙනවා නම් වෙනස් කළ යුත්තේ මූල්‍ය අරමුදලේ ගිවිසුම මිස ව්‍යවස්ථාව නොවේ.

මේ පනතේ 4 වන වගන්තියෙන් කියනවා මහ බැංකුවේ සියළුම කොටස් අයිති ආණ්ඩුවටයි කියලා. ඒ කියන්නේ මහජන මුදල් තමයි මහ බැංකුවේ ආයෝජනය කරන්නේ. නමුත් 5 වන වගන්තියෙන් කියනවා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කියලා. මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කරන්නේ රටේ ජනතාව. ඒ අය තනතුරු දරණ කාලය පුරාම ජනතාව ආණ්ඩුවේ කටයුතු පිලිබඳ විමසිල්ලෙන් ඉන්නේ. ජනතාව නැතත් විපක්ෂය සහ ජනමාධ්‍ය විමසිල්ලෙන් ඉන්නේ. ඒ අය වරදක් කලොත් ඊ ලඟ මැතිවරණයේ දී දඬුවම් කළ හැකියි. ඒ නිසාම ජනතා මතයට විධායකය සහ ව්‍යවස්ථාදායකය යම් සංවේදි බවක් තිබෙනවා. නමුත් මහ බැංකුවේ නිලධාරින් ජනතාව ගැන කිසිම සංවේදිතාවයක් තිබෙන්න හේතුවක් නෑ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන වුණොත් ඔවුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරාවි. ඊටත් වඩා භයානක වන්නේ ඔවුන්ට විදේශ ශිෂ්‍යත්ව දෙන, විදේශ සංචාර දෙන, ජාත්‍යන්තර සංවිධාන වල රැකියා අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර තානාපති කාර්යාලවල ඕනෑ එපාකම් මත ක්‍රියා කිරීමට උත්සාහ ගනිවි. මේ සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදවා හැරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කරන එකයි.

ආණ්ඩුව කියන්නේ මහ බැංකුව ස්වාධීන කිරීම මූල්‍ය අරමුදලේ ණය ලබා ගන්න සම්පූර්ණ කළ යුතු කොන්දේසියක්ලු. අපි මීට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගත්තා. මහ බැංකුව ස්වාධීන කරන්න කිව්වේ නෑනෙ. වෙනත් කිසිම රටකට මේ කොන්දේසිය දැමූ බවට වාර්තා වෙන්නේ නෑ. එහෙම නම් මේ උත්සාහ කරන්නේ අපේ අසරණකම පාවිච්චි කරලා අපේ රට මූල්‍ය අරමුදලේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් කර ගන්නයි.

භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවෙන් ඉවතට

මහ බැංකුව ආණ්ඩුවේ බැංකුකරු වගේම මූල්‍ය උපදේශක කියලා මේ පනතේ 7 වන වගන්තියෙන් කියනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය නියෝජිත කියලාත් තිබෙනවා. මහ බැංකුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති රාමුවට සහය ලබා දිය යුතුයි කියා 6 වන වගන්තියෙන් කියනවා. මේ වගන්ති අනුව පේන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසන මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සකසන භාණ්ඩාගාරය අතර සමීප සම්බන්ධතාවයක් තිබිය යුතු බවයි. භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වෙන්නේ මේ නිසා. නමුත් නව පනතින් භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවේ පාලක සභාවෙන් ඉවත් කරලා. ඒ අනුව ආණ්ඩුව සහ මහ බැංකුව සමග විශේෂයෙන් භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර තිබිය යුතු අත්‍යාවශ්‍ය බැඳීම ඉවත් කරලා. ඒ පියවර අරගෙන තිබෙන්නේ මහ බැංකුව ආණ්ඩුවෙන් ගලවලා අරන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනයට යටත් කර ගන්නයි.

මෙන්න මේ කාරණා නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. අපි විශ්වාස කරනවා මෙම පනත ජනතාවගේ අනුමැතියකින් තොරව සම්මත කළ නොහැකි බවට තීන්දුවක් ලබා දීලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැක දීමට කටයුතු කරාවි කියලා.

– මාධය අංශය

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website