නිල වශයෙන් 12.2% කින් ඩොලරයේ අගය පහළ ගියද දේශිය මුදල් වෙළඳපලේ ඩොලරය කඩා වැටීම 15% ආසන්නය.
සාමාන්‍ය තත්වයක් යටතේ ඕනෑම මුදල් ඒකකයක් උපරිම වශයෙන් 5% ක පරාසයක අධි ප්‍රමාණය වීම හෝ අවප්‍රමාණය වීම ව්‍යාපාරික ප්‍රජාවට දැරිය හැකි අතර 15% කින් අගය පහල වැටීම වෙළඳපල තුල මහා පරිමානයෙන් පාඩු ලබන තත්වයක් නිර්මාණය කරනු ලබයි.
තවද මෙම තත්වය අපනයනය වෙළඳාමටත්,සංචාරක කර්මාන්තයටත් මහා පරිමාණ ආනයන ව්‍යාපාරයන්ටත් බලපාන අතර මෙම තත්වය වලක්වා ගැනීමේ පූර්ණ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව වෙතය.
මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහා බැංකුවේ හිටපු නියෝඡ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා මාධ්‍යයට දැක් වූ අදහස් සම්පිණ්ඩනය කර ඉදිරිපත් කිරීමක් පහත දැක්වේ.
රජය විසින් ගන්නා ලද ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියලේ වටිනාකම ඉහළ යෑමට බලපා තිබේ. රුපියල් 362 මධ්‍යම අනුපාතිකය වශයෙන් තිබූ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම අද (14) වන විට රුපියල් 300 වැනි මට්ටම දක්වා අඩු වී ඇත. එය දින කිහිපයක් ඇතුළත සීඝ්‍රයෙන් සිදු විණි. මෙපරිදි ක්ෂණිකව අගය පහළ යෑම හෝ ඉහළ යෑම හෝ ආර්ථික විද්‍යාඥයෝ අනුමත නොකරති. ඒ එය භයානක වන බැවිනි.
ආර්ථික විද්‍යාවේ දී ද ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියලේ අගය එක් වරම ඉහළ හෝ පහළ හෝ යෑම භයානකය. එවැන්නක් අපේක්ෂා කරන්නේ ක්‍රමිකව ය. එහෙත් මෙහිදී රුපියලේ වටිනාකම වේගයෙන් ඉහළ ගොස් ඇති හෙයින් එයින් සිදුවිය හැකි අගතිය අවම කර කරගැනීම වෙනුවෙන් ඒ ගැන සැලකිලිමත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන
රුපියලේ අගය ඉහළ ගියේ ඇයි?
ඩොලරයට එරෙහි රුපියලේ අගය ඉහළ යැමට බලපෑ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ මීළඟට විමසා බැලිය හැකිය. පළමුවැන්න නම් වාණිජ බැංකු විසින් මහ බැංකුවට අලෙවි කරනු ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය 25% සිට 15% දක්වා අඩු කිරීම නිසා වෙළඳපොලේ ඩොලර් සැපයුම ඉහළ යෑමය. මහ බැංකුව මීට පෙර සියලුම වාණිජ බැංකුවලට නියෝග කර තිබුණේ එම බැංකු මිලදී ගන්නා විදේශ විනිමය වලින් අවම වශයෙන් සියයට 25% ක් වත් මහ බැංකුවට අලෙවි කළ යුතු බවටය. එනිසා වාණිජ බැංකුවල තිබූ විදේශ විනිමය මහ බැංකුවට ගලා ආ අතර ආණ්ඩුව එම විදේශ විනිමය භාවිත කරමින් ඖෂධ, ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කළේය. කෙසේ වෙතත් පසුව වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකුණනු ලැබිය යුතු 25% ඩොලර් ප්‍රමාණය 15 % දක්වා අඩු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකු සතුව අමතර 10% ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි විය. ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ ඉතාමත් කුඩා එකකි. එහි දිනකට අලෙවි වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන එකකටත් අඩු අගයකි. මෙම කුඩා වෙළඳපොළට ඩොලර් සැපයුම වැඩි වූ සැණින් ඩොලරයේ රුපියල් අගය පහළ වැටීම සිදුවේ. එය හැඳින්විය හැක්කේ මිල කඩා කඩාවැටීමක් ලෙසය. එය රටට හිතකර දෙයක් නොවේ.
දෙවන කාරණය නම්
මහ බැංකුවේ අනුග්‍රහය යටතේ මෙරට ප්‍රධාන, වාණිජ බැංකු තුනකට ජාත්‍යන්තර මූල්‍ය (IFC) සංස්ථාවෙන් ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් හිමි වීම ය. ඒ යටතේ ආහාර බෙහෙත් සහ පොහොර වර්ග ආනයනය කිරීමට එම මුදල් ලැබිණි. මීට පෙර ඒ වෙනුවෙන් තමන් සතු විදේශ විනිමය යොදාගත් බැංකුවලට ඒ ණය පහසුකම හිමිවීමත් සමග තවත් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි විය. එම විදේශ විනිමය වෙළෙඳ පොළේ අලෙවි කිරීමට එම බැංකුවලට හැකියාව ලැබිණි.
තෙවැන්න නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම මේ මාසයේ අගභාගයේ දී ලැබෙනු ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 360ක මුදලක් පළමු වාරිකය වශයෙන් ලැබීමට නියමිත අතර ඒත් සමගම විදේශ විනිමය ළඟ තබාගෙන සිටි අය විශාල වශයෙන් ඒවා රුපියල් වලට හුවමාරු කිරීමට පටන් ගැනීමත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ කුඩා විදේශ විනිමය වෙළඳ පොළට ඉහළ ඩොලර් සැපයුමක් ලැබිණි. ඩොලරයේ රුපියල් අගය පහත වැටීමට එයද හේතුවක් විණි.
මෙවැනි තත්ත්වයක් ඇති වන විට මහ බැංකුවේ වගකීම විය යුත්තේ වෙළඳපොලේ සංසරණය වන වැඩි ඩොලර් ප්‍රමාණය මිලදී ගෙන මිල කඩාගෙන වැටීම වැලැක්වීමය. එහෙත් එසේ නොකර මේ ප්‍රවණතාව යහපත් එකක් ලෙස සලකා මහ බැංකුව ඒ පිළිබඳව සතුටින් පසුවන බවක් පෙනේ. මෙපරිදි මිල කඩා කඩාවැටීම ආර්ථික ස්ථායිතාව ට දැඩි බාධාවක් බව මහ බැංකුව තේරුම් ගෙන ඇති බවක් ද නොපෙනේ. 2021 වසරේ අග වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම පැවතියේ රුපියල් දෙසීයක් ලෙසය. ඉන් පසු රට අභ්‍යන්තරයේ මිල මට්ටම සීඝ්‍රයෙන් වැඩි විය. 2021 අග අගභාගයේ සිට උද්ධමන අනුපාතිකය ද 60% කින් පමණ මිල මට්ටම වේගයෙන් ඉහළ ගියේය. රුපියලේ මිලදී ගැනීමේ ක්‍රය ශක්තිය 50% න් පමණ පහළ ගොස් ඇති බව එහි අර්ථයයි. ඇමෙරිකානු ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය 360 නම්, උද්ධමනය ඉහළ යෑම නිසා සිදු වූ අවාසිය අවම කිරීම ද එහි ගැබ්ව තිබිණි. ඩොලරයේ මිල කඩා වැටීමෙන් සිදු වන්නේ රුපියල් වලට තිබෙන ශුද්ධ වටිනාකම තවදුරටත් පහත වැටීම ය. එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මෙපරිදි රුපියල ශක්තිමත් වීම සුදුසු දෙයක් හැටියට ආනයනකරුවන් සහ දේශපාලනඥයන් විසින් සලකනු ලැබුවද රටට විදේශ විනිමය එවන විදේශ ශ්‍රමිකයන්ට සහ ඩොලර් උපයන අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන්ට මෙයින් විශාල අවාසියක් සිද්ධ වේ. එබැවින් මෙහි ඇති වාසි අවාසි තුලනය කරමින් සුදුසු විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යෑම මහ බැංකුවේ රාජකාරියයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1% න් ඉහළ නැංවීම රුපියල පහත වැටීම වැළැක්වීමට හේතුවකි. මහ බැංකුව ඒ ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවක් ප්‍රකාරව එම තීරණය ගත් බව ය. 2023 වසරේ අග වන විට උද්ධමනය 10% ට අඩු අගයක් දක්වා පහත වැටෙන බව බවට මහ බැංකුව පුරෝකතනය කර තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි පුරෝකථනයක් කර නැත. එම ආයතනය ප්‍රකාශ කර ඇත්තේ උද්ධමනය මීට වඩා වැඩි අගයක පවතින ඇති බවය. මේ සන්දර්භයේ එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ණය පහසුකම ලබා දීම අරබයා පැනවූ කොන්දේසි මාලාවට මහ බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය තවත් තද කළ යුතුය යන්න ද ඇතුළත් කළේය. එහි එක් පියවරක් හැටියට ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය 1% කින් ඉහළ නංවනු ලැබීය.
ආර්ථික අර්බුදය පැමිණීමට පෙර පැවති රුපියල් දෙසිය සීමාවට යළිත් ඩොලරයේ අගය පහළ වැටීමේ හැකියාවක් නොමැත. එසේ වුවහොත් රට නැවතත් විශාල ආර්ථික අස්ථාවර තාවයකට ගමන් කරනු ඇත. ඊට මහ බැංකුව ඉඩ දෙනු ඇතැයි මම නොසිතමි. මහ බැංකුව වෙළඳපොළට මැදිහත් වී එහි ඩොලර් අධි සැපයුමක් තිබෙන්නේ නම් එය මිලදී ගෙන ඩොලරයේ රුපියල් වටිනාකම රුපියල් 340ත් 350ත් අතර මට්ටමෙන් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යවේ . හේතුව මේ වන විට උද්ධමනය වේගය 50%කින් පමණ වැඩිවී තිබීමය.
ඩොලරයේ රුපියල් අගය අඩු වුවහොත් නිෂ්පාදන පිරිවැයෙහි අඩු වීමක් නැති නිසා අපනයනකරුවන්ට මෙයින් අත්වන වාසියක් නොමැත. අපනයන අධෛර්ය කිරීමත් මෙමගින් සිදුවේ. අපනයනකරුවන්ට මතු නොව මෙරටට මුදල් එවන විදේශ ශ්‍රමිකයන්ට සංචාරකයින්ගේ ක්‍රය ශක්තිය අඩු වීමටත් මෙය බලපායි. ආනයනවලට සහනයක් ලබා දී අපනයනවලට බද්දක් පැනවූ අවස්ථාවක් හැටියට මෙය ගිණිය හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය තවදුරටත් තීව්‍ර වීමට ද මෙය හේතුවක් වනු ඇත.
Lankainformation.lk