සිකුරාදා, 16 ජූනි 2023 17:07

ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් එයි Featured

මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

‍මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.


මෙරට ආයෝජන සිදු කිරීමේදී බලපත්‍ර ලබා ගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබදව මන්ත්‍රීවරුන් කරුණු විමසූ අවස්ථාවේදී, ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා යෝජිත නව ආයෝජන පනත පිළිබදව සඳහන් කළේය.

තවද, ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වන මහලේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් (Investor Facilitation Center) ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා ඇත. ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් මෙම මධ්‍යස්ථානය මගින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඔහු පැවසීය. නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එලෙසම, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට හැකි ආයෝජන කලාප හඳුනා ගෙන ඇති බවත් ඒවා ප්‍රවර්ධනය කර නව ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍යතාවද මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී.

 

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website