සිකුරාදා, 16 ජූනි 2023 17:09

රජයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරයි Featured

මෙරට රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනයක්(SustainableDigital Transformation)ඇති කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්,ධාරිතා ප්‍රවර්ධන මූලෝපායක්(Capacity Building Strategy)ක්‍රියාත්මක කෙරේ.

දෙස් විදෙස් පාර්ශවකරුවන්ගේද සහයෝගය සමඟ,දැනට දියත් කර ඇති ධාරිතා ප්‍රවර්ධන මුලපිරීම් ඒකාබද්ධ කරමින්,තෝරා ගත් සංවිධාන (Critical Information Infrastructure Organizations) 37ක එලෙස මෙම මූලෝපාය ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ.


පසුගිය ජූනි 7 සහ 8 යන දෙදින තුළ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු ජාතික ධාරිතා ප්‍රවර්ධන වැඩමුළුවේ දී මේ බව අවධාරණය විය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (UN DESA), ශ්‍රී ලංකා තිරසර සංවර්ධන කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය හා එක්ව ICTA විසින් මෙම වැඩමුළුව සංවිධාන කරන ලදී. තිරසර සංවර්ධනය සඳහා වන රාජ්‍ය පාලන මූලධර්ම, ඩිජිටල් රාජ්‍ය සංවර්තනයේ ප්‍රවණතා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් ආකර්ශනීය සැසි මාලාවකින් වැඩමුළුව සමන්විත විය.

වේගයෙන් වෙනස් වන අද ලෝකය තුළ ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය සහ පාරිසරික තිරසරභාවය සඳහා ඩිජිටල් විසඳුම් අතිශය වැදගත් වී තිබේ. එකී විසඳුම්වල අවශ්‍යතාවය හඳුනා ගනිමින් මෙරට රාජ්‍ය පාලනයේ අනාගතය හැඩගැස්වීම සඳහා මෙම වැඩමුළුවේ දී දෙස් විදෙස් සම්පත් දායකයින්,ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව කටයුතු කළහ.

ඩිජිටල් රාජ්‍ය සංවර්තනයේ අනාගත අභියෝග සහ ඒවා ජය ගැනීමේ උපාය මාර්ග පිළිබඳ ව ඔවුන් එහි දී සාකච්ඡා කළ අතර ඔවුනොවුන් අතර ඒ පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ද සිදු විණි. මීට අමතර ව, මෙම වැඩමුළුව ඔස්සේ මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් හැකියාවන් වැඩිදියුණු කිරීම සහතික කරන ඩිජිටල් රාජ්‍ය නිපුණතා රාමුව (Digital Government Competency Framework) ඵලදායී ව භාවිතයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ද සිදු කෙරිණි.

රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සඳහා හඳුන්වා දුන් සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය (Integrated Capacity Building Approach)මෙහි දී දෙස් විදෙස් ප්‍රවීණයින්ගේ සහ සංවිධානවල පිළිගැනීමට ලක් විය. ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරමින් පොදු දැක්මක් සහිත ව වැඩ කිරීමට රාජ්‍ය නායකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට පෙළඹවීමක් ඇති කිරීමට මෙම සමුළුව සමත් වූ අතර මෙහි ප්‍රතිඵල 2030 ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය (Digital Economy Strategy) ගොඩනැගීමේ කාර්යයේ දී වැදගත් තැනක් ගනු ඇත.

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරන්ජන් ඩී. ගුණවර්ධන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, ශ්‍රී ලංකා තිරසර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ක්‍රිස්ටියන් ස්කූග්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සම්පත් දායකයින් මෙම වැඩමුළුව හා එක්වෙමින් සිය අදහස් පළ කළ අතර UNPOG, DPIDG, UN-DESA හි ප්‍රධානි ක්‍යු චැං කෝ මහතා ඇතුළු දකුණු කොරියාව, සිංගප්පූරුව යන රටවල සහ UNPOG, DPIDG, UN-DESA, UNESCO, ITU යන සංවිධානවල නියෝජිතයන් මාර්ගගත ව මෙම වැඩමුළුවහා සම්බන්ධවිය. විවිධ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරන ඩිජිටල් රාජ්‍ය සංවර්තන කාර්‍යයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම වැඩමුළුව සඳහා එක්ව සිටියහ.

ජාතික ධාරිතා ප්‍රවර්ධන වැඩමුළුව හා එහි ඉදිරි පියවර පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබට This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන Email ලිපිනය ඔස්සේ ICTA හි ධාරිතා ප්‍රවර්ධන කළමනාකරු - කණිෂ්කා විතාන මෙනෙවිය සම්බන්ධ කර ගත හැක.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website