බ්‍රහස්පතින්දා, 22 ජූනි 2023 09:55

අධිවේගයේ කොන්දොස්තරවරුන් නැතිව බස් ධාවන නියමු ව්‍යාපෘතියෙන් ලක්ෂ 5ට වැඩි දෛනික ආදායමක්  Featured

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා 'දිනමිණ'ට පැවසීය.

පසුගිය 19 වැනිදා නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ මෙලෙස දෛනික ආදායම වැඩි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

රුහුණු ප්‍රාදේශිකය තුළ ලංගම ඩිපෝ 11ක් තිබෙනවා. ඩිපෝ පහකින් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට බස් රථ ක්‍රියාත්මක කෙරෙනවා. මෙම සමස්ත ඩිපෝවල වැටලීම් සහ කොන්දොස්තර මහත්වරුන් නැතිව බස් රථ ධාවනයෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී තිබෙනවා. එය අධිවේගී මාර්ගවල මෙන්ම අනෙකුත් ඩිපෝවලට ආදායම් වැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කළ නියමු වැඩසටහනක් යැයිද සභාපතිවරයා කීවේය.

රුහුණු ප්‍රාදේශීය තුළ ධාවනය කෙරෙන බස් රථවලින් ලබන සමස්ත ආදායම රුපියල් මිලියන 12ක් පමණ වෙනවා. මෙම ව්‍යාපෘතිය ලබන ජුලි මස 01 වැනිදා සිට කටුනායක අධිවේගී මාර්ගය හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මහරගම කටුනායක, මාකුඹුර සිට ගාල්ල, මාතර, හම්බන්තොට, ඇඹිලිපිටිය, මත්තල ඇතුළු ප්‍රදේශවල අධිවේගී මාර්ගය හරහා ධාවනය කෙරෙන බස් රථ කොන්දොස්තරවරයකු නැතිව ධාවනය කිරීමට පියවර ගන්නවා. අධිවේගී මාර්ගය ආරම්භ කරන ස්ථානය තෙක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කොන්දොස්තරවරයාගේ දායකත්වය ලැබෙන අතර අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන විට ප්‍රවේශ පත්‍ර සහ ලබාගත් මුදල් බසයේ රියැදුරු මහතා වෙත භාර දී කොන්දොස්තර මහතා බලයෙන් ඉවත් වන අතර මින් ප්‍රවේශ පත්‍ර ලබා නොදී වංචා කරන කොන්දොස්තරවරුන් සිදු කරනු ලබන වංචාවලට තිත තැබෙනවා යැයිද සභාපතිවරයා කීවේය.

එමෙන්ම ඉදිරියේදී දිවයින පුරා ලංගම බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබෙන්නේ ද යන්න සොයා බැලීමට අඛණ්ඩව වැටලීම් සිදු කරනු ලබන බව ද හෙතෙම අවධාරණය කළේය.

ලොව දියුණු රටවල් වන එංගලන්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද සභාපති ලලිත් ද අල්විස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සුභාෂිණී සේනානායක

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website