සෙනසුරාදා, 01 ජූලි 2023 10:10

විදුලි ගාස්තුව අද සිට 14.2%කින් පහළට Featured

  • මහජන උපයෝගිතා‌ කොමිසම තීරණය කරයි
  • මාසික ඒකක 30ට අඩු - 65%කින්
  • ආගමික ස්ථාන - ඒකකය රු. 10යි
  • හෝටල් සඳහා 26.3%කින්
  • කර්මාන්ත සඳහා 9%කින් අඩු වෙයි

විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65%ක් ගාස්තු අඩු වීමක් ඇති වන අතර, ඒකකය රු. 30 සිට 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තුව රු. 400 සිට 150 දක්වා අඩු වේ. ඒකක 60ට අඩු කාණ්ඩයේ ගාස්තුව රු. 42 සිට 32 දක්වා අඩු කෙරෙන අතර, මාසික ගාස්තු රු. 650 සිට 300 දක්වා අඩු වනු ඇත.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රු. 42 සිට 35 දක්වා අඩු කෙරෙන අතර, මාසික ගාස්තුව රු. 1500 සිට 1000 දක්වා අඩු වේ. ආගමික ස්ථාන සඳහා 16%ක ගාස්තු අඩු වීමක් කෙරෙන අතර, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රු. 10 බැගින් (රු. 30 සිට 10 දක්වා අඩු කෙරේ) අය කෙරේ. මෙහිදී ආගමික ස්ථාන සදහා කඩිනමින් සූර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි ඉදිරිපත් කර ඇත.

හෝටල් අංශය සඳහා 26.3%කින්ද කර්මාන්ත අංශය සඳහා 9%කින්ද වාණිජ ගොඩනැඟිලිවල විදුලි ගාස්තුව 5%කින් සහ රජයේ ගොඩනැඟිලිවල විදුලි ගාස්තුව 1%කින්ද අඩු කෙරේ.

අද සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කොන්දේසි මෙසේ ඉදිරිපත් කර තිබේ:

ඒ අනුව නිවාස සංකීර්ණවල පාරිභෝගිකයන්ට අදාළ වන ගාස්තු කාණ්ඩයට යටත් කර ගාස්තු අය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) කඩිනමින් පියවර ගත යුතු වේ. මේ නිවාස සංකීර්ණවල පොදු ස්ථාන සඳහා වැය වන විදුලිය සහ වෙනත් නඩත්තු වියදම් පියවාගැනීම සදහා ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තිය යටතේ සේවා ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ලංවිම හා ලෙකො අදාල නිවාස සංකීර්ණ වල කලමණාකරන සංස්ථා සමග ගිවිසුම් ගත වීමට පුළුවන. වීථී ලාම්පු සදහා පරිභෝජනය කෙරෙන විදුලිය මනුගත කිරීම, ඇස්තමේන්තු කර බිල්පත් නිකුත් කිරීම, අදාළ පළාත් පාලන ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියෙන් අදාළ ගාස්තු අය කරගැනීම සඳහා පියවර ගත යුතුය.පාරිභෝගිකයන්ගෙන් ගත් ඇප තැන්පතු ආයෝජනය කර ඉන් ලැබෙන ප්‍රතිලාභවලින් පාරිභෝගිකයන්ට පොලිය ගෙවීමට පියවර ගත යුතු වේ. පාරිභෝගික ඇප තැන්පතු සඳහා ගෙවන පොලිය අදාළ පාරිභෝගිකයාගේ මාසික බිල්පතෙන් අඩු කරගැනීම සදහා පියවර ගත යුතු වේ. ඉන්ධන හා ගල් අඟුරු සැපයීම්වලට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා කෝල් සමාගම සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ලංවිම පියවර ගත යුතුයි. ලංවිම විදුලි බලාගාර සහ ලංවිම සම්ප්‍රේෂණ අංශය අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු අතර ලංවිම සම්ප්‍රේෂණ අංශය හා බෙදාහැරීම් අංශ අතර විදුලිය අලෙවිය සදහා ගිවිසුම් ක්‍රියාවට නැඟිය යුතු වේ. දැනට බලපත්‍ර රහිතව ක්‍රියාත්මක ලංවිම බලාගාර සදහා මාස 2ක් ඇතුළත බලපත්‍ර ගත යුතුයි. පුනර්ජනනීය විදුලි බලාගාරවලින් (වහල මත සවි කරන සූර්ය බලාගාරද ඇතුළුව) විදුලිය මිල දී ගැනීමේදී කළ යුතු ගෙවීම් කඩිනමින් ගෙවීමට පියවර ගත යුතු අතර මේ තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත ලංවිම විසින් තොග සැපයුම් සම්ප්‍රේෂණ ගිණුම ක්‍රියාවට නැගිය යුතුයි.

නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් ක්‍රම යටතේ වහල මත සවිකල සූර්ය බල පද්ධති සහිත විදුලි පාරිභෝගිකයන්ගෙන් මාසික ස්ථාවර ගාස්තු අය කිරීමේදී ඔවුන් විසින් ආනයනය කළ ශුද්ධ විදුලි ප්‍රමාණය මත මාසික ගාස්තුව අය කළ යුතු වේ. ඔවුන් විසින් ශුද්ධ අපනයනයක් කර ඇත් නම් මාසික ගාස්තුව තීරණය කළ යුත්තේ මාසික විදුලි පරිභෝජනය 0 ලෙස පදනම් කරගෙනය. ආගමික ස්ථාන සදහා වහල මත සවිකරන සූර්ය බල පද්ධති සවිකිරීමේ ක්‍රියාදාමය ලංවිම සහ ලෙකො විසින් කඩිනම් කළ යුතු අතර, එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මේ තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. මෙහි තිබෙන කොන්දේසිවලින් 1-6 සහ 8,9 යන කොන්දේසි ඉකුත් ගාස්තු ශෝධනයේදීද පනවා තිබිණි.

 

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website