සෙනසුරාදා, 19 අගෝස්තු 2023 08:35

වී මණ්ඩලයට වී ගන්න මිලියන 750ක බැංකු ණයක් – කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි Featured

රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී විකිණීමට සූදානම් නම් එම මුදල් යොදාගනිමින් වී මිලදී ගන්නා බව ද එහි දැක් වේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 13 ක් වැය කළ අතර දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදි. එම මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත්කර අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට නොමිලයේ ලබාදීමට රජය පියවර ගත්තේය. මෙම සහල් එක් පවුලට මාසයකට කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 02 කට සහල් කිලෝ ග්‍රෑම් 20 ක් වශයෙන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී නොමිලයේ නිකුත්කරනු ලැබීය.

මීට අමතරව මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ගොවීන්ගේ භාරකාර අරමුදල මගින් ලබාදීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි විය. එම මුදල වැයකර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කළ අතර මේ වනවිට රුපියල් මිලියන 300 ක වී මිලදී ගෙන ඇත. ඉන් තවත් රුපියල් මිලියන 200 ක් ඉතිරිව ඇතත්, මේ වනවිට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විවෘත කර තිබූ වී ගබඩා වසා දැමීමට සිදු විය. එයට හේතුව නම් දැනට පවතින නියං තත්ත්වය හේතුවෙන් අක්කර දහස් ගණනක වී වගා විනාශ වීමත්, ලබන මාර්තු වනතෙක් නැවත වී අස්වැන්නක් නොලැබෙන නිසා වී මිල ඉහළයෑමට ඉඩ ඇතැයි අනුමාන කරමින් ගොවීන් විසින් වී අලෙවි නොකර රඳවා තබා ගැනීමත්ය.

මීට අමතරව රජය විසින් රාජ්‍ය බැංකු මගින් ණය මුදලක් වශයෙන් තවත් රුපියල් මිලියන 750 ක් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට සූදානම් නම් එම මුදල් පවා යොදවා ගනිමින් වී මිලදී ගැනීමට හැකි බව වී අලෙවි මණ්ඩලය පවසයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website