සෙනසුරාදා, 19 අගෝස්තු 2023 09:03

මහ බැංකුව නෝට්ටු හා කාසි නිකුත් කිරීම අඩු කරයි Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වාර්ෂික සංසරණය සඳහා නිකුත් කළ මුදල් කාසි හා නෝට්ටු ප්‍රමාණය 2018 වසරට සාපේක්ෂව මේ වන විට සියයට 50කින් පමණ අඩු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ශ්‍රී ලංකාවේ මුදල් හා නීති පනතේ ප්‍රකාරව රටේ මහජනතාව වෙත ව්‍යවහාරයේ පවත්නා නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී පරම බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති මෙම ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරනු ලබන්නේ එහි ව්‍යාවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් බව ද ඇමැතිවරයා එහිදී තවදුරටත් කීය.

ඒ අනුව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව 2018 වසරේදී රුපියල් බිලියන 796.5ක්ද 2019 දී රුපියල් බිලියන 776.2 ක්ද 2020 දී රුපියල් බිලියන 697 .3ක්ද 2021 දී රුපියල් බිලියන 390 .9ක් හා 2022 දී බිලියන 385.5 ක් සංසරණය සඳහා නිකුත් කර තිබෙන බව ද ඇමැතිවරයා මෙහිදී හෙළි කළේය.

ඇමැති ආචාර්ය ගුණවර්ධන මෙම කරුණු හෙළි කළේ පසුගියදා මීගමුව හෙරිටන්ස් හෝටලයේදී සංචාරක කර්මාන්තයේ නියැළෙන ව්‍යවසායකයන්ගේ හමුවකදීය.

එමෙන්ම නීතිමය හා තාක්ෂණික කාරණාවලින් සමන්විත ඉහත කරුණු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට හෝ ඒ වෙනුවෙන් මැදිහත්වීමට දේශපාලනඥයන්ට හෝ මහජනතාවට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එවන් තත්ත්වයක් තුළ ක්‍රියාත්මක වන ස්වාධීන මූල්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවට ඉකුත්දා කිසියම් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී නිලධාරීන්ට තර්ජන ගර්ජන එල්ල කළ බව වාර්තා වූ බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

එවැනි නොහොබිනා හැසිරීම් දියුණු දැනුවත් සමාජය විසින් පිළිකුලෙන් හෙළා දැකිය යුතු තත්ත්වයක් බවත්, මහ බැංකුව ව්‍යවස්ථාපිත වගකීම් නිදහසේ ඉටු කිරීමට ඉඩ දිය යුතු බවද ඇමතිවරයා පැවසීය.

මේ අයුරින් මැර තර්ජනවලින් රටේ සල්ලි අච්චු ගසන ස්ථානයට බලපෑම් කිරීම ගෝත්‍රික සමාජ ක්‍රමයක ලක්ෂණ පෙන්වන්නක් බව ද ඇමැතිවරයා කීය.

මේ හේතුකොටගෙන රටේ ඉදිරි සංචාරක ව්‍යාපාරය පිළිබඳව, ජාත්‍යන්තර මුදල් භාවිතයත් පිළිබඳව ඇත්දැකීම් බහුල සංචාරක ක්ෂේත්‍රයේ නායකයන්, ප්‍රවීණයන් රට තුළ කවර අන්දමේ හෝ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිවීම සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට හේතුවන බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

SN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website