සිකුරාදා, 25 අගෝස්තු 2023 07:40

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන දිගම සම්ප්‍රේෂණ පද්ධතිය ජාතික විදුලි පද්ධතියට එක්වෙයි Featured

මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත මෙම ව්‍යාපෘතිය සිදුකෙරුණු අතර ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි.

කිලෝමීටර 150 ක දිගකින් යුක්ත මෙම සම්ප්‍රේෂණ මාර්ගය අඹගමුව සිට හම්බන්තොට දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක් හරහා දිවෙන අතර, එහි සම්ප්‍රේෂණ මාර්ග ධාරිතාව මෙගාවොට් 580 වේ.

හම්බන්තොට ග්‍රිඩ් උපපොළ ට්‍රාන්ස්ෆෝමර දෙකකින් යුක්තව ඉදිකර ඇති අතර, එහි සමස්ත ධාරිතාව මෙගාවොට් 500 කි.

සම්ප්‍රේෂණ ජාලයේ සිදුකරන ලද මෙම වැඩිදියුණු කිරීම සමග, දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වූ බවත් එමගින් විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාව ද ඉහළ නංවා ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයෙහි සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න, අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) ඉංජිනේරු සී. ඩී. සතරසිංහ, හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ (හරිත බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය) ඉංජිනේරු එච්.කේ. ඉලේපෙරුම, වර්තමාන එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හා ව්‍යාපෘති අධ්‍යක්ෂ (උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය) ලෙස ද කටයුතු කරනු ලබන ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න යන මහත්ම මහත්මීහු එක් වූහ.

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website