සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 08:12

දුම්රිය රියැදුරන් 438ක් ඕනෑ: ඒත් ඉන්නේ 277යි – කිංස් නෙල්සන් Featured

දුම්රිය රියැදුරන් 438 දෙනකු සේවයේ යෙදවිය යුතුව ඇතත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 277 දෙනකු පමණක් යැයි විපක්ෂ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

එම රියැදුරකුට වසර 10කවත් සේවා අත්දැකීම් අවශ්‍ය වුවද අලුතින් බඳවාගැනීම් නොකෙරෙන බවත් මේ ආකාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වශයෙන් පුරප්පාඩු ඇති වී තිබෙන බවත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රවාහන ඇමැතිවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකදී මන්ත්‍රීවරයා මේ බව කීය.

ඊට පිළිතුරු දෙමින් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ප්‍රථමයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් කිරීමෙන් අනතුරුව එහි පවතින මෙවැනි අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර දුම්රිය හරස් මාර්ගයන්හි පවතින අනාරක්ෂිත ගේට්ටු වැඩිදියුණු කිරීමට මුදල් වෙන් කිරීම දැඩි ගැටලුවක් බවද ඇමැතිවරයා කීය.

ඊට මැදිහත් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ එම අනාරක්ෂිත ගේට්ටු ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුව තමා වෙත ලබා දෙන ලෙසත් ඒවා ඉදිකිරීමට සමගි ජන බලවේගය විසින් දායකත්වයක් ලබා දීමට කඩිනම්ව මැදිහත් වීමට සූදානම් බවත්ය.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website