දැනට අවුරුදු 03 කට ආසන්න කාලයක් පොහොර බිඳක් නැතිව කේඩෑරි වෙමින් පැවතුනු තේ වගාවන් වල්නාශක භාවිතයෙන් ඉවත්වීම නිසා ලඳු කැලෑවක් බවට පත්වුණි. කෙසේ නමුත් යාන්තමට ඈදුණු තේ දළු ස්වල්පයට හෙනහුරා පාත්වූයේ පසුගිය වකවානුව තුළ පැවැති අධික උෂ්ණත්වය සහ නියංසාය නිසාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්කරයට දළු කිලෝ 400ක් පමණ කැඩූ වගාවෙන් අද කිලෝ 100ක් පමණ වන තරමට එම අස්වැන්න බාල වී ඇත. එසේ කඩාගන්නා තේ දල්ල ගුණාත්මක භාවයෙන් පහළ අගයක් ගන්නා අතර ඒවායින් නිෂ්පාදනය වන නිමි තේ වල අගය ද ඉතා පහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය මත රස නහර පිනා යන ශ්‍රී ලංකා තේ යුරෝපීයයන් ගෙන් ඈත්වීමට ද පටන් ගෙන ඇත.
වෙනත් නිෂ්පාදනයන් සඳහා තේ මිලදී ගන්නා මැදපෙරදිග රටවල් සහ විශේෂයෙන් ඉරානය, ඉරාකය, යුක්රේනය, රුසියාව වැනි රටවල්වල පවතින යුදමය වාතාවරණය නිසා වක්‍ර මාර්ගයෙන් අපගේ ප්‍රධාන අපනයන භෝගයක් ලෙස ඩොලර් ඉපයූ තේවලට ලබා ඇත්තේ නරක කාලයකි.
මෙම ක්‍රියාදාමයන්ට අමතරව පරිපාලනමය සහ වෙළෙඳ ගැටලුවලට අසු වී සිටින අප ඉන්දියාව, වියට්නාමය, කෙන්යාව ආදී රටවලින් කසළ තේ ගෙනැවිත් ලංකාවේදී කලවම් කර ශ්‍රී ලංකා තේ නමින් අපනයනය කිරීම නිසා අවස්ථා කිහිපයකදීම කන්ටේනර් පිටින් ආපසු එවීම වැනි කනගාටුදායක අවස්ථාවන්ට ද මුහුණ දී ඇත.
මෙකී නොකී කරුණු කාරණා හේතුකොට ගෙන අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ තමන්ගේ නිවස වටා හෝ තේ ටිකක් වවාගෙන එදාවේල සවිකරගන්නා සුළු තේ ගොවීන් ය. ඔවුන්ගේ පොල් පුවක් ගම්මිරිස් වගාවන් ද නියඟයට විනාශ වෙමින් පවතිද්දී තේ පඳුරු ටිකත් විනාශ වී යෑම කනගාටුදායක ය.
එසේම සේවකයන් පිරිසක් මෙන්ම වාහන කිහිපයක් නඩත්තු කරමින් රජයට බදු ගෙවමින් ක්‍රියාත්මක වූ සමස්ත ලංකා තේ දළු ව්‍යාපාරිකයන්ට ද සිදුව ඇත්තේ ඔවුන් පවත්වාගෙන ආ ව්‍යාපාරයෙන් ඉවත්වීමටය.
මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් කෝටි ගණනක් වූ ව්‍යාපාර බලපත්‍ර ගාස්තු සහ සෙස් බද්ද වැනි අරමුදල්වල සැලකිය යුතු ධන සම්භාරයක් තිබුණ ද අඳ ගොළු බිහිරන් සේ කල් ගෙවන පාලකයන් සහ නිලධාරි පැලැන්තිය නිහඬ ප්‍රතිපත්තියක් ගෙනයෑම අප සැමගේම අභාග්‍යයක් ලෙස සැලකිය යුතුමය.
එසේම අප තේ වගාවේ සහ තේ කර්මාන්තයේ සමාරම්භකයා වන ජේම්ස් ටේලර් මැතිඳුන් කවර ආත්මභාවයක සිටියත් මෙම පරිහානිය දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටිනවාට සැක නැත.
සමස්ත ලංකා තේ දළු ව්‍යාපාරිකයන්ගේ සංගමය වෙනුවෙන්
ඇම්. ඩී. පියසේන