අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:37

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය දුන්නා – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි Featured

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. මේ වන විට අපේ විශ්වවිද්‍යාල 11ක් තියෙනවා. ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිටවෙන කණ්ඩායම් ලෝකයටත් අපිට දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ.

මම සෞඛ්‍ය ඇමැති විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහිකරන්න අවසරය දීලා තියෙනවා. ඒ අය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ඇමැතිවරයා කියා සිටියේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් ඕනෑ – GMOA කියයි
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකළහොත් රටේ සෞඛ්‍යයේ ප්‍රමිතිය නැතිවී ජාත්‍යන්තර පිළිගැනීමද අහිමිවී යෑමේ තර්ජනයක් මතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශක්‍යතා අධ්‍යයනයකින් තොරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන් රට තුළ ස්ථාපිතව ඇති වෛද්‍ය පීඨවල පවා විශාල කඩාවැටීමක් සිදුවිය හැකි බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙරට වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් 1700ක් සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ 800 කටද අඩු පිරිසක් බව පැවැසූ ඒ මහතා ශක්‍යතා අධ්‍යයනයකින් තොරව වෛද්‍ය පීඨ පුළුල් කිරීමට යෑමෙන් ජනතාවට තවදුරටත් විශාල දුෂ්කරතාවන්ට ලක්වීමට සිදුවන බවද සඳහන් කළේය. වෛද්‍ය හිඟයට විසඳුමක් ලෙස ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ඇරඹීමෙන් ලැබෙන ප්‍රතිඵලය තවත් වසර කිහිපයකින් ජනතාවට අත්විඳීමට සිදුවන බවත්, බලධාරීන් සිතන ලෙස පවතින සෞඛ්‍ය ගැටලු වලට මෙය විසඳුමක් නොවන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website