සෙනසුරාදා, 14 ඔක්තෝබර් 2023 08:55

වයඹ ඇළ ව්‍යාපෘතියේ චීන සමාගම වැටුප් නොගෙවා මාරු වෙයි.. Featured

වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරන ලද චීන සමාගම සේවකයන් අතරමං කර කම්කරු නීතිරීති පවා උල්ලංඝනය කරමින් ඔවුන් යටතේ සේවය කළ සේවක පිරිසට ගෙවිය යුතු හිඟ වැටුප් ඇතුළු කිසිදු දීමනාවක් නොගෙවා ප්‍රදේශය අතහැර පලා යෑම හමුවේ එකී සේවකයන්

යන එන මං නොමැතිව අසරණ වී සිටින බවට තොරතුරු අනාවරණය වේ. එම අසාධාරණයට ලක්වූ සේවක පිරිස් මාධ්‍ය හමුවේ මෙසේ පැවැසූහ.

“පොල්පිතිගම වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ අපි වැඩ කෙරුවේ ICB 1 චයින CAMCE සමාගම යටතේ. අපි 2021 වසරේ සිට මහ කිතුළ, මහ කිරුළ හා මහ දඹේ වැව් යටතේ වැඩ කෙරුවා. නමුත් වසර දෙකක් ඉක්ම යනතුරුත් සමාගමට වැඩ කරන්න පුළුවන් වුණේ සියයට හතරක් වැනි ප්‍රමාණයක්. මේ නිසා අසාර්ථක ව්‍යාපෘතියේ ගිවිසුම අවලංගු කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගත්තා. ඔවුන්ගේ වැඩ නැවතුණා. ඔවුන් ගෙනා සියලු වාහන, යන්ත්‍ර සූත්‍ර ඇතුළු කොටස් එතැන තිබියදීම වෙන්දේසි කෙරුවා. ඒ අය වැඩකරන විට කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ හෙක්ටයාර් 300ක් විතර ශුද්ධ කෙරුවා. ඒ සීමාවේ අලි වැට හදා දෙන්නත් පොරොන්දු වුණා. නමුත් ඔවුන් අලි වැට හදන්නෙත් නැතිව යන්න ගියා. දැන් නොසිතූ ලෙසට අලි ගම් වදින්නෙත් මේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නිසාමයි.

ඒ අතරේ අපි කරපු සේවය වෙනුවෙන් ගත යුතු වැටුප්, අතිකාල, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ් දීමනා මැයි මස සිට ගෙවා නැහැ. ඒ සම්බන්ධව අපි කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කෙරුවා. මේ සමාගම ඒ මුදල් පසුගිය ජූලි මස ඉක්ම යෑමට පෙර ගෙවන බවට කම්කරු නිලධාරීන් හමුවේ පොරොන්දු වුණා. එහෙත් ඔවුන් කම්කරු නීතිරීතිවලට ගරු කරන්නේ නැතිව ලංකාවේ රැඳී ඉන්නවා. අපි 23 දෙනකුට ගෙවිය යුතු කිසිදු දීමනාවක් ගෙවන්නේත් නැහැ. එසේ තිබියදීත් එම අසාර්ථක ව්‍යාපෘතිය නැවත මල්වතු ඔයේ ව්‍යාපෘතියක ඉදිකිරීම් සඳහා ගිවිසුම් ගන්නත් යනවාලු. අසාර්ථක බව පේන මේ සමාගම කොහේ වැඩ කෙරුවත් අපිට කමක් නැහැ. අප රටේ කම්කරු නියෝගවලට අවනතව අපිට හිමිවිය යුතු දීමනාවන් ගෙවන්න කියන්න.”

ඒ පිළිබඳව පොල්පිතිගම වයඹ ඇළ ව්‍යාපෘති කාර්යාලයේ ව්‍යාපෘති ඉන්ජිනේරු අශෝක පෙරේරා මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“මේ අය ගිවිසුම් ගැසුවේ අපිත් එක්ක නෙමෙයි. ඒ චීන සමාගමත් එක්කයි. ඒ අය දැන් මෙහේ නැහැ. ඒ හින්දා මේ සේවක පිරිසට වෙලා තියෙන අසාධාරණය ගැන ඒ චීන සමාගමේ ව්‍යාපෘතියෙන් තමයි අහන්න වෙන්නේ. අපිට ඒ සම්බන්ධව කිසිවක් කියන්න බැහැ.

නමුත් මෙතැනින් ඉවත්ව ගියපු ඔවුන් මල්වතු ඔයේ වැඩ සඳහා ගිවිසුම් ගසන්නට යනවා කියලා අපිටත් දැනගන්න ලැබුණා. ඒ වාගේම ඔවුන් එළිපෙහෙළි කරපු රක්ෂිත කොටසේ අලි වැට හදන්නේ නැතිව ගියත් ඒක හදා දෙන්නට දැන් එකඟතාව පළකර ඇතැයිද ”ඒ මහතා පැවැසීය.

අදාළ චීන සමාගමෙන් කළ විමසීමකදී එහි බලධාරීන් මෙසේ කීවේය.

“අපි ලංකාවේ නීතියට ගරු කරනවා. ඒ අනුව අපි කම්කරු දෙපාර්තමේන්තුවටත් ගොස් පෙනී හිටියා. අපේ යටතේ වැඩ කරපු අයට ගෙවන්න තියෙන පමාවූ මුදල් අපි කොටස් වශයෙන් ගෙවනවා. ගෙවන්න තිබෙන ඉතිරි හිඟ දීමනා ඉදිරියටත් ගෙවනවා. නමුත් පොල්පිතිගම ව්‍යාපෘතියේ මෙවැනි පිරිසකට මුදල් ගෙවන්න තිබෙනවාද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒ පිළිබඳව කරුණු දන්න නිලධාරියකු සම්බන්ධ කර නොපමාව පිළිතුරු දෙනවා” එම නිලධාරියා පවසා සිටියේය.”

එය එසේ වුවත් ඔවුන් කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝගවලට අවනතව ගෙවීමට පොරොන්දු වූ කිසිදු දීමනාවක් මේ අසාධාරණයට ලක්ව සිටින පොල්පිතිගම කණ්ඩායමට ගෙවා නැතැයි මහව දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරිනියක ඒ සම්බන්ධව කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියාය.

පොල්පිතිගම – නන්දන කැලේගම

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website