සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:18

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළකට චීනයේ පූර්ණ සහාය Featured

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් ඇමැති ලියු කුං මහතා පැවසීය.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19 දා) පෙරවරුවේ බීජිං නුවරදී සිදුවූ අතර එහිදී චීන මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් ඇමැතිවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහාය ලබා දෙන බවට ද මෙහිදී චීන මුදල් ඇමැතිවරයා සහතික විය.

එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර චීනය සමග සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද චීන මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික අර්බුදයෙන් යළි නැඟීසිටීමේ අභියෝගාත්මක කාර්යයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය ඉතා අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website