ඉරිදා, 12 නොවැම්බර් 2023 09:33

ඉන්ධන ප්‍රමාද ගාස්තු ඩොලර් කෝටි 17ක් ගෙවලා Featured

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී තිබේ.

ඒ අනුව 2021 වසරේදී කොළඹ වරායට පැමිණි ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑම ප්‍රමාදවීම නිසා ඩෙමරේජ් ලෙස ඇමෙරිකානු ඩොලර් දහසය ලක්‍ෂ පනස් එක්දහස් හාරසීය හැත්තෑවක මුදලක් (1,651,470) අදාළ සමාගම් වෙත ගෙවා ඇත.

2022 වසරේදී ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දහසය කෝටි අනූදෙලක්‍ෂ විසි දෙදහස් තුන්සිය හතළිස් හයක් (169,222,346) ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති සිදුකළ විගණනයේදී තහවුරු වී තිබේ. ගාස්තු 2021 ට සාපේක්‍ෂව 2022 වසරේ ප්‍රමාද ගෙවීම් ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට නවසීය විසිහතරකි.

ප්‍රසම්පාදන හෝ හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන නෞකා මෙරටට ගෙන ඒමේදී දින හතරක් පහක් යනතුරු ඒවා ගොඩබාගත නොහැකිවීම නිසා එම දින හතර පහට ප්‍රමාද ගාස්තු ගෙවීම ගැටලුවක් නොවූවත් 2021-2022 වසරවලදී ගබඩාවල තෙල් තොග ගබඩා කර තිබියදී හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබියදී පවා අනවශ්‍ය ලෙස පිරිපහදු හා බොරතෙල් ඇනවුම් කිරීම නිසා මේසා විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස සමාගම් වෙත ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව කොළඹ වරායට සේන්දු වූ ඇතැම් ඉන්ධන නෞකා දින 55, 61 ආදී ලෙස නිකරුණේ නැංගුරම් ලා තිබීම නිසා මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවා ඇත.

නෞකාවලට ප්‍රමාද ගාස්තු ලෙස මේසා විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවා දැමීමට අමතරව ප්‍රීමියම් (රක්‍ෂණ හා වරාය ගාස්තු) ලෙස තවත් විශාල මුදලක් ගෙවා ඇත.

මේ අතර ඉකුත්දා පැවති කෝප් (පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) කමිටුවේදී හෙළි වූයේ බොර තෙල් මෙරටට සැපයීමට ගිවිසුම් ගතවූ සමාගම් බොරතෙල් ලබානොදීම නිසා අයකරගත යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක මුදලක් අයකරගෙන නැති බවයි.

මේ සියලු ගෙවීම් අවසානයේදී ඉන්ධන මිලට එක්කාසු කොට පාරිභෝගිකයා වෙත පැටවීමට සංස්ථාවට සිදුවූ බව එහි උසස් නිලධාරියෙක් කියා සිටියේය.

රජයේ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාව ඉදිරි සති කිහිපය තුළ කෝප් කමිටුව වෙත ලබාදීමට නියමිතය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website