ඉරිදා, 12 නොවැම්බර් 2023 09:52

විදුලි වාහන ආනයනේදී වංචා.. රේගු ප‍්‍රධානී හෙලි කරයි.. Featured

ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එමෙන්ම ඒ ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ නැංවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මත්පැන් බෝතල්වල ඇත්තේ ව්‍යාජ ස්ටිකර් පමණක් නොවන බවට සහ කසිප්පු නිෂ්පාදනය වී ඒවා නිල අරක්කු ලෙස විකිණෙන බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් කළ අනතුරු ඇඟවීම දොම්පේ ප්‍රදේශයේ පසුගියදා වටලන ලද ස්කාගාරය මගින් සනාථ වූ බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නිර්දේශය නිසා සමාගම් ගණනාවක් හිඟ බදු ගෙවීමේ එකඟතාවයකට පැමිණ 2023 වසරේ හිඟ සුරාබදු ගෙවීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම, ෆින්ලන්ඩ් නිෂ්පාදනාගාරය, සිනජි නිෂ්පාදනාගාරය හා රන්දෙනිගල නිෂ්පාදනාගාරය යන ආයතන 2023 වසරට අදාළ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.1 ක මුදල සහ ප්‍රමාද ගාස්තු 2023.12.31 වන දින වන විට වාරික 9 කින් ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බවත් ඒ අනුව 2023.11.06 දින මෙම සමාගම් 4 විසින් රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති බවත් 2023.12.31 දිනට එම සමාගම් 4 හි ඉතිරි හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.056 ක මුදල ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කලහ.

එමෙන්ම 2023 වසරට පෙර සිට පැවත එන හිඟ බදු අය කර ගැනීමට, හිඟ බදු ගෙවීම් සැලසුමක් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන බවද කාරක සභාවේදී අනාවරණය විය. හිඟ බදු ගෙවීමේ ප්‍රගතිය සතියෙන් සතිය කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද, ගෙවීමට ඇති හිඟ බදු මුදල පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් මාසිකව කාරක සභාව වෙත ලබා දෙන ලෙසද, මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පවරා ඇති නඩු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද කාරක සභා සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදන කටයුතු අතරමග නැවැත්වීම හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමට නොහැකි වී ඇති අතර එම බදු ගෙවීම පැහැර හැරීම වලක්වා ගැනීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වල මාස 6ක නිෂ්පාදන ධාරිතාවයට සමාන මුදලක් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී හෝ බලපත්‍ර අලුත් කිරීමේදී තැන්පතුවක් ලෙස ලබා ගැනීමට හැකි වන ලෙස නීතිමය සංශෝධන ගෙන එන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේය.

සැප්තැම්බර් 15 වෙනිදායින් අවසන් වූ, විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේදී වටිනාකම් අඩුවෙන් දැක්වීම, ලියාපදිංචියෙන් වසරකට වඩා පැරණි වාහන ආනයනය කිරීම, ආනයනය කරනු ලබන වාහන වසර 2ක් ගතවන තුරු වෙනත් පාර්ශවවලට පැවරිය නොහැකි නමුත් එම කාලසීමාව ඉකුත් වීමට පෙර වාහන පැවරීම වැනි විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා විගණකාධිපතිවරයාගෙන් වෝහාරික විගණන වාර්තාවක් ඉල්ලා සිටි බවද කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.

නීතිවිරෝධීව මෙරටට ගෙන එන රත්‍රන්වලට තුන් ගුණයක දඩ පැනවීමේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය භාවිතා කළේ නම් රුපියල් බිලියන 1.3 ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබූ බවද කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. ඉදිරියේදී නීති විරෝධීව මෙරටට ගෙන එනු ලබන ග්‍රෑම් 100 ට වැඩි රත්‍රන් සඳහා භාණ්ඩයේ වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන ලෙස ද, මෙහිදී කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළේය.

ආනයනය කරනු ලබන භාණ්ඩ වැරදි ලෙස ඉන්වොයිසිගත කිරීම මගින් රටට විශාල විදේශ විනිමයක් අහිමි වීම වැලැක්වීමට Global Integrity Report හි සඳහන් වී ඇති ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් කාරක සභාව එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර කාරක සභාවට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළ අතර එම ක්‍රමවේදය රේගුවේ ASYCUDA පද්ධතිය හා අන්තර්සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රේගුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රු. බිලියන 1200 ක් බවද මේ වන විට ඉන් බිලියන 800ක් උපයා ඇති බවද, පසුගිය මාසයේදී ඉතිහාසයේ වැඩිම මාසික ආදායම වන රු. මිලියන 109ක් ඉපයීමට රේගුව සමත් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. මෙම ආදායම් වැඩි වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කොට ඒ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන මෙන් කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දුන්නේය.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන් මෙන් ම, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයා ද එක් වූ අතර, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ඉෂාක් රහුමාන්, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක් ව සිටියහ.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website