බදාදා, 06 දෙසැම්බර් 2023 05:52

තීරු බදු සහන දෙන්න බැරි වුණේ රේගු නිළධාරීන් නිසා - අමාත්‍ය මනුෂ නානායක්කාර Featured

තීරු බදු සහන දෙන්න බැරි වුණේ රේගු නිළධාරීන් නිසා - අමාත්‍ය මනුෂ නානායක්කාර

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් ශ්‍රමිකයින්ට ලබාදීමට යෝජනාකර ඇති සහන ලබාදීමට නොහැකි වී ඇත්තේ භාණ්ඩාගාරයේ නිළධාරීන් එම තීරණ ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබානොදීම හේතුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ, (2023.12.04) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙසේද පැවසුවේය.

“මීට මාස 18ට 19ට කලින් මේ රටේ හිටියේ ඉච්ඡාභංගත්වයට පත්වුණ පිරිසක්. අපි හැමෝගෙම ජීවිත පිළිබඳ අවධානමක් තිබුණා. අපේ දරුවන්ගේ අනාගතය ගැන බයක් තිබුණා. අද බොහෝ දෙනෙකුට ඒ තත්වය අමතක වෙලා. සිහිපත් කරන්නෙවත් නෑ. එවන් තත්ත්වයක් තුළ අද අපි බොහෝ දේවල් සාර්ථක කරගෙන තියෙනවා. අද මිනිස්සු ගෑස් ගන්න, බෙහෙත් ගන්න පෝලිම්වල නෑ. තෙල් නැව් එනකම් බලන් ඉන්නෙත් නෑ. කිරිපිටි ඉල්ලලා දරුවෝ අඩන්නේ නෑ. දැන් බඩු සුලබව තියෙනවා. නමුත් මිළදී ගන්න අපහසුකම් තියෙනවා. අද මේ තත්වයට රට අරන් එන්න මහ බැංකුව, බැංකු පද්ධතිය දැඩි කැපවීමෙන් කටයුතු කළා. ඔවුන් ගත් තිරණ නිසා අද අපි යහපත් මට්ටමකට ඇවිත් තියෙනවා.

ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලොකු වැඩ කොටසක් කළා මේ රටට අවශ්‍ය  ඩොලර් හොයලා දෙන්න. රටට සල්ලි අවශ්‍ය වෙලාවේ අපි විදෙස් ගත ශ්‍රමිකයින්ට සල්ලි එවන්න කියද්දි ඇතැම් අය කිව්වා සල්ලි එවන්න එපා කියලා. නමුත් අපි කිව්ව දේවල් අහලා ඔවුන් වාණිජ බැංකු පද්ධතිය හරහා මුදල් එව්වා.

භාර ගන්න කියද්දි කකුල් වෙවුලන්නේ නැතුව, කටින් බතල හිටවන්නේ නැතුව අපි අමාරු වෙලාවේ මේ වැඩේ කරන්න භාරගත්තා. මේ රට භාරගන්න කියද්දි සර්වාංගෙම පණ නැතිවුණ නායකයො ඉද්දි ජනාධිපතිතුමා මේ රට භාරගත්තා. අපිත් ඒකට සහයෝගය දීලා මේ රට මෙතැනට ගෙන එන්න පුළුවන් වුණා.

මාස 18ට කලින් තිබුණ දේවල් හිතද්දි අපි නොමැරි බේරුණා විතරයි. රට මේ තත්ත්වයට ගේන්න වැරදි මූල්‍ය තීරණ, කොරෝනා අර්බුද වගේ දේවලුත් බලපෑවා. ඒ අතරේ උණ්ඩියල් එව්වත් සල්ලි එනවනේ කියපු නායකයොත් හිටියා.

එදා භාණ්ඩාගාරේ වැරදි මූල්‍ය තීරණ ගත් අය අද තාමත් ඉන්නවා. ඒ අය තමයි එදා මේ හැමදේටම හේතු වුණේ. අදත් අපි මොකක් හරි ප්‍රතිපත්ති තීරණයක් ගද්දි ඒ අය විරුද්ධ වෙනවා. අපේ සාධනීය තීරණ හිර කරගෙන ඉන්නේ භාණ්ඩාගාරේ මේ අය. ඒ අය මේ රටට සල්ලි ගේන ක්‍රමවේදයක් හදන්න ඕනි. එහෙම නැතුව සල්ලි අරන් එන ක්‍රමවේද හිරකර ගෙන ඉන්න ඒ අය භාණ්ඩාගාරේ ඉන්න ඕනි නෑනේ. තම තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න අය මේ තනතුරුවල ඉන්න හොඳ නෑ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට ගරුත්වය දෙන්න අපි මුලින්ම ගුවන් තොටුපොලේ Hope Gate ආරම්භ කළා. ශ්‍රමිකයාගේ ගරුත්වය නැත්තටම නැතිකරලා තිබුණේ. ඒ අය රටත් එක්ක තරහකින් තමයි විදේශ ගතවුණේ. කොරෝනා වසංගතය දවස්වල මෙරටට ආපු අයගෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවන්න මුදල් ගසා කාපු මාෆියාකාරයෝ හිටියා. අපේ ශ්‍රමිකයෝ කොරෝනා කාලේ මෙරටට ගේන්න හදනකොට මිනිස් බෝම්බ මෙරටට ගෙන්න එපා කියලා පාර්ලිමේන්තුවේ කියපු අය හිටියා. එහෙම වෙනකොට විදෙස්ගත ශ්‍රමිකයො සල්ලි උණ්ඩියල් හරහා එවලා ඕනි දෙයක් වුණදෙන් කියලා හිතපු එක සාධාරණයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර දෙන ක්‍රමවේදයක් අපි ආරම්භ කළා. ඒ යටතේ බලපත්‍ර 900ට අධික ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් වාහන 126ක් මීට මාසයකට කලින් ලංකාවට ආවා. ඒකෙන් හම්බවුණු බදු ආදායම විතරක් රුපියල් බිලියනයක්. ඩොලර් මිලියන 100ක් ඒ යටතේ එකතු කරගන්න පුළුවන් වුණා.

දැන් රටට ඩොලර් ඇති කියන නිසා වෙන්න ඇති මේ පහසුකම් ඔක්කොම නතර කරලා තියෙන්නේ. උපන්දා ඉදන් භාණ්ඩාගාරේ ඉන්න නිළධාරීන්ට වෙලාවට පඩි ලැබෙනවා. ඒ අයට මේ රටේ මිනිස්සුන්ගේ අමාරුකම් තේරෙන්නේ නෑ.

කාන්තාවන් පිටරට යනකොට ඔවුන්ට වවුචර්පත් ලබාදෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. ලංකාවෙන් යන්න කලින් ගෙදරට වවුචර්පතක් ලබාදෙනවා සතොස හරහා ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිළදී ගන්න. ඒ වගේම කාලයක් තිස්සේ තිබුණ ගැටළුවක් විදෙස් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න. ඒක අපිට කරන්න පුළුවන් වුණා. ළමයින්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා දීර්ඝ කාලයක ඉඳන්. අපිට පුළුවන් වුණා ඒ මුදල් වැඩිකරන්න. ඒ වගේම විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ දෙමාපියන්ට සෞඛ්‍යාවරණයක් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. නිවාස ව්‍යාපෘතිය අපි ආරම්භ කළා නිවාස අමාත්‍යාංශය සමග එකතුවෙලා.

තීරු බදු සහනය දෙන්න ජනාධිපතිතුමා මාස ගණනාවකට කලින් ගැසට් එකක් නිකුත් කරලා ඉවරයි. නමුත් කස්ටම් එකට බැරි වුණා තාම තීරු බදු සහනය ක්‍රියාත්මක කරන්න.  කස්ටම් එකේ අයට වැටුපට අමතරව වෙන වෙන ක්‍රමවලිනුත් මුදල් ලැබෙන නිසා මේ දේවල් ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ අයගෙන් සල්ලි ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති මේ දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ නැත්තේ. තමන් එවපු මුදල්වලට වැඩියෙන් සහන දෙන නිසා මේ අය මුදල් ලංකාවට එවන්න පෙළඹෙනවා. ඒ දේවල් කරන්න ඕනි දේවල්. මේ හැමදේම කරද්දි දෙපැත්තක් තියෙනවා. රටට මුදල් එනවා. අනිත් පැත්තෙන් ශ්‍රමිකයාට සහන දෙනවා. මේ දෙකම තියෙද්දි තමයි හැමදෙයක්ම සාධාරණව කරන්න තියෙන්නේ.” යනුවෙන්ද ප්‍රකාශ කළේය. 

Last modified on බදාදා, 06 දෙසැම්බර් 2023 05:54

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website