බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ගතයුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ, තම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ මහතා මෙවර අයවැය විවාදයේදී පෙන්වා දුන් පරිදි විදේශ බැංකුවල ‘”පාක් කොට ඇති” ඩොලර් බිලියන 54කට අධික මෙරටට හිමි අපනයන ආදායම කඩිනමින් රට තුළට ගෙන්වා ගැනීම බව යැයි ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ සඳහා ආණ්ඩුව විසින් 1953 අංක 12 දරන විනිමය පාලන පනතෙහි සඳහන්ව තිබූ පරිදි “යම් අපනයනකරුවකු මාස හයක් ඇතුළත මෙරටට හිමි අපනයන ආදායම රට තුළට රැගෙන නොඒම” අපරාධ වරදක් ලෙස සැලකීමේ ප්‍රතිපාදනය වත්මන් පනතට (2017 අංක 24 දරන විදේශ විනිමය පනත) ඇතුළත් කරමින් එම පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු, එහෙත් මහා පරිමාණ බදු වංචාකරුවන් මෙතෙක් නොගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 904ක් බවත් එම දැවැන්ත මුදල තුළ “පාරිභෝගිකයන්ගෙන් අය කරගෙන ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් නොගෙවා ඇති රුපියල් බිලියන 200ක වැට් බදු මුදල” ද වන බවත් ආණ්ඩුවේ ගජ මිතුරන් හා හුරතලුන් මෙසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා “පොල්ල තබා ඇති” දැවැන්ත මුදල කඩිනමින් අයකර ගැනීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ දෙවන ක්‍රියාමාර්ගය බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවා ඇති ණය ප්‍රමාණය, කෝප් කමිටුවේදී පවා එම බැංකු ප්‍රධානීන් නිවැරදිව ඉදිරිපත් කිරීමට අසමත් වුවත් ඒ මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 600-800ත් අතර මුදලක් යැයි අනාවරණය වී ඇති බවත් එම දැවැන්ත ණය ප්‍රමාණය කඩිනමින් අයකර ගැනීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මේ මොහොතේ ආණ්ඩුව ගතයුතු තෙවන කඩිනම් ක්‍රියාමාර්ගය බවත් සමරවීර මහතා සඳහන් කළේය. එහෙත් මෙම බැංකුවලින් නිවාස ණය ලබාගත් පිරිසට සහ ලක්ෂ දෙක, පහ, දහය වැනි කුඩා ණය මුදල් ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ගෙවාගත නොහැකි වූ විට කිසිදු ප්‍රමාදයකින් තොරව දේපළ සින්න කරගැනීම නම් අපූරුවට සිදු වන බවට ද ඒ මහතා චෝදනා කළේය.
එනිසා ජනතාව විඳින දුක පිළිබඳව යන්තම් හෝ සහකම්පනයක් ඇත්නම් ඉහත ක්‍රියාමාර්ග තුන කෙරෙහි කඩිනම් අවධානය යොමුකර එමඟින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකොට තම “ගජ මිතුරන් – සුරතලුන්” රකිමින්, “වැට් බදු සංශෝධනයට” සූදානම් වුවහොත් එය පරාජය කිරීමට “යකාගේ අම්මා” සමග හෝ එක්ව සටන් වදින බවත් සමරවීර මහතා දැඩිව අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)