බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:59

වසා දැමීමට යෝජනා වූ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය බේරයි Featured

රාජ්‍ය සමාලෝචන කමිටුව මගින් වසා දැමීමට යෝජනා කළ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, එම ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පමණක් සීමාවන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කරයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වේ.

එම කැබිනට් පත්‍රිකාව අගමැති දිනේෂ් ගුණවර්ධන හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ අත්සනින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

මෙම ආයතනය වසා දැමීමට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අනුයුත්ක කිරීමට යෝජනා කර තිබුණේ මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ රාජ්‍ය වියදම් කමිටු වාර්තාව මගිනි. අදාළ වාර්ථාව මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඒ සදහා අනුමැතිය ද හිමිව තිබුණි.

ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මගින් අදාළ ආයතනය තව දුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඒකගතාව පල කර තිබේ. කැබිනට් මණ්ඩලය මෙහිදී තීරණය කර ඇත්තේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට එම පනත මගින් පැවරී ඇති එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන කාර්යයන් වලින් එම ආයතන ඉවත්විය යුතු බවයි. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලේකම්වරයාට නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහනේ පාර්ශවකාර රටක් ලෙස දියත්කළ යුතු වගකීම් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර ඇති එකම ආයතනය වන්නේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියයි. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වර්තමානයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

නාගරික කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන බල ප්‍රදේශයන්හි ජීවත්වන අඩු ආදායම්ලාභී ප්‍රජාව සඳහා නිවාස විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටිවීම සඳහා ව්‍යාපෘති හා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව රටතුළ පිහිටි පළාත් පාලන බල ප්‍රදේශ 341 අතරින් පළාත් පාලන බල ප්‍රදේශ 273ක නාගරික කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් හා නාගරික කලාපයන්හි ජනතාව මුහුණපාන සංකීර්ණ සමාජ ආර්ථික ගැටළු සඳහා මැදිහත්වීම ලබාදීම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරි පනත ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

නාගරික ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඉදිරි වසර හතරතුළ මහා භාණ්ඩාගාරයට වැය බර නොවන අයුරින් භෞතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ආදායම් උත්පාදනය කිරීමට සැලසුම් සකස්කර තිබේ.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website