බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:22

රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා Featured

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවුල් සියයට 60.5 ක මාසික අදායම මෙලෙස අඩු වෙද්දී පවුල්වලින් සියයට 91 ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

නමුත් අදායම අඩුවූ පවුල්වලින් සියයට 73.6ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත් සියයට 6.6 ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ආදිය වන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මාසික වියදම වැඩි වූ පවුල් අතරින් සියයට 99.1 කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත් සියයට 83 කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට පවුල්වලින් සියයට 22 ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩිත වී ඇති බවත් වයස අවුරුදු 3ත් 21 ත් අතර සියයට 54.9 කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් සියයට 53.2 ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත් සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී සියයට 29 ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත් ඉන් සියයට 7 ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බවත් එම සමීක්ෂණයයෙන් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එසේ ක්‍රියා පටිපාටිය වෙනස් කළ රෝගීන් පිරිසෙන් සියයට 35.1 ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති බවත් සියයට 33.9 ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී හෙළි වී ඇත.ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස සියයට 81.7 සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකම බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ආර්ථික අර්බුදයේ ආරම්භය 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ සිදුවන බවත් එය කොවිඩ් වසංගතයත් සමඟ තවත් දරුණු වන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලාංකිකයන් අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවත් ඒ අතර සිය පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද තිබෙන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website