අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:11

හිටපු ජනාධිපතිගේ ගජ මිතුරු සහනයෙන් සිදු වූ බදු හානියට වැට් බදු වැඩි කරන්න වුණා Featured

එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර

හිටපු ජනාධිපතිවරයා සිය ගජමිතුරන්ට බදු සහන ලබාදී රටේ බදු පද්ධතියට හානිකළ නිසා වැට් වැඩි කිරීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (01 දා) පැවසීය.

ඇතැමුන් විසින් වැට් බදු වැඩි කිරීම ගැන නොයෙකුත් විවේචන සිදුකරන බවත්, බදු වැඩි නොකර සිටියා නම් ජනතාවට අස්වැසුම ඇතුළු ඇතැම් සහන ලබාදිය නොහැකි බව ද ඒ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා ලෙස වැට් වැඩි කිරීමට සිදුවූයේ හිටපු ජනාධිපතිවරයා ගත් වැරදි තීරණ නිසා බවත්, එම ජනාධිපතිවරයාට වැරදි උපදෙස් දුන් පිරිස් දැන් නැවත වෙනත් පිරිස් බලයට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවත් ඒ මහතා කීය. එම පිරිස් හිටපු නායකයාට හරි උපදෙස් දුන්නා නම් රට දමා පලායෑමට සිදු නොවන බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.

මේ රටේ ඩඩ්ලි සේනානායකගේ සිට හිටපු ජනාධිපතිවරයා දක්වා නොයෙකුත් අය කළ නොහැකි පොරොන්දු දී බලයට පැමිණි බවත් රනිල් වික්‍රමසිංහ මහතා නිතරම පරාජයට පත්වූයේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීමට යෑම නිසා බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.

2023 වර්ෂය ගෙන බැලීමේදී රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ යම් ධනාත්මක වැඩිවීමක් තිබෙන බවත් එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ වාසිය ගැන රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගනු ඇතැයි ද ඔහු කීය. මේ වනවිට රාජ්‍ය සේවකයන් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවත් ලක්ෂ 16 ක් වන ඔවුන් ඉල්ලන එම ඉල්ලීමට රටේ දෙකෝටියක් වන ජනතාව කැමැත්ත ප්‍රකාශ කරනවා නම් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය. එම දීමනා දීමේදී අස්වැසුම කප්පාදුව, බඩු මිල වැඩිවීම වැනිදේ සිදුවිය හැකි බවත් කීය.

ඇතැම් පිරිස් විසින් වැට් වැඩි කිරීම නිසා ජීවන වියදම රුපියල් 40,000 කින් වැඩි වන බවට ප්‍රකාශ කරන බවත් ඒ ආකාරයෙන් මීට පෙරත් බදු වැඩි කරන විට බිල්ලන් මවා පෑවත් එම ප්‍රකාශ කෙටි කාලයක් යන විට ප්‍රතික්ෂේප වූ බවත් ඒ මහතා කීය. වැට් වැඩි කිරීම නිසා ජීවන වියදමේ යම් වැඩිවීමක් සිදුවන බවත් එය ඇතැම් පිරිස් පුරෝකතන කරන ආකාරයෙන් වැඩි නොවන බවත් ඔහු කීය.

වැට් බදු වැඩි කිරීමට රජයට සිදුවූයේ රට වැටී තිබූ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීමට බවත් රට යම් තත්ත්වයකට පැමිණි විට බදු අඩු කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා ගනු ඇති බවත් ඒ මහතා කීය.

අපේ රටේ ජනතාවට, පත්වූ බොහෝ නායකයන් අසත්‍ය ප්‍රචාර සිදුකර බලය ලබාගත් බවත්, එය කොතෙක් දුරට සිදුකර ඇති ද යන්න කියනවා නම් මාස හයක කාලයක් වැඩ කරන රටකින් ණය ගෙන අවුරුද්දක් වැඩ කරන්න පුළුවන් රටේ ජනතාවට කන්න දුන් බවත් එය දැන්වත් තේරුම් ගෙන අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කළයුතු බවත් කීය.
චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website