බදාදා, 24 ජනවාරි 2024 08:20

ජුනිවලට පෙර විදේශ ණය හිමියන්ගේ එකඟතාව ගන්නවා – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කියයි Featured

මේ වසරේ (2024) ජුනි මාසයට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විදේශ ණය හිමියන්ගෙන් අවසන් එකඟතාවක් සඳහා කැමැත්ත ලබාගත හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අයිඑම්එෆ් ණය මුදලේ තුන්වැනි ණය වාරිකය ලැබෙනවා කියන්නෙම විදේශ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් එකඟත්වයට පැමිණ ඇති බව යැයි ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. එසේ විදේශ ණය හිමියන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟත්වයට පැමිණි පසු ඒ සඳහා වන ක්‍රියාවලිය අනුගමනය කර, එම එකඟතා අනුව අලුතින් ණය ගෙවීම ආරම්භ කළ හැකිවනු ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

වඩාත් වැදගත් වන්නේ අදාළ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් විදේශ ණය හිමියන්ගේ එකඟත්වය ලබාගැනීම බව ද, ඒ අනුව ගිවිසුම් අත්සන් කර ඒ අඩු මට්ටමට ඉදිරියට ණය ගෙවාගෙන යා හැකි බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

රටක් බංකොලොත් බව ප්‍රකාශ කළ හොත් එහිදී කිසිම ණයක් නැවත නොගෙවන බව ද, එහිදී කිසිදු කෙනෙක් අලුතින් ණය ලබා නොදෙන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාව කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවද, එහි අදහස ණය ගෙවීමේ හැකියාව ඇතිකර ගත් පසු නැවත ණය ගෙවාගෙන යනවා කියන එක බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website