බදාදා, 12 ජූනි 2024 09:44

රාජ්‍ය සේවා වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක් Featured

-වාර්තාව මාස තුනකින් ජනපතිට

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 වර්ෂය සඳහා වන අය – වැය මඟින් පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා ඇත. එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව විසින් අදහස් කරනු ලබන රජයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටත් අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත් මෙම කමිටුවට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ලබා දීමට ද උපදෙස් දී තිබේ.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website