බදාදා, 10 ජූලි 2024 10:29

වර්ජනවලට එක් නොවූ රජයේ නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් Featured

-ප්‍රශංසා සහතිකයකුත් හිමිවෙයි

වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ (09) සහ පෙරේදා (08) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගැයීමට රජය තීරණය කර තිබෙන බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සංගම් විසින් මෙම දෙදින ලෙඩ නිවාඩු දැමීමේ හා වැඩවර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කරන ලද පුළුල් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හරහා දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු බව ද ජනතාවට ලබාදුන් සහනවලට අමතරව සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000/-ක දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කළ බව පෙන්වා දෙයි. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත්නොවන ආකාරයට කටයුතු කරමින් මෙම දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඔවුන් සියලු දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට මෙලෙස රජය තීරණය කර තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ද මේ සම්බන්ධව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත් ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබේ. දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත්කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබාදුන් සහනවලට අමතරව සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කර ඇත. පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩි වීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබාදීමට කිසිදු හැකියාවක් නැති බවට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබේ. පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇතිවන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිදු හැකියාවක් නැති අතර අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයන් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගැයීමක් සිදුකිරීම රජයේ වගකීමක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

මහින්ද අලුත්ගෙදර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website