බ්‍රහස්පතින්දා, 11 ජූලි 2024 09:47

රට තුළ නව ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමේ දී මහා සංඝරත්නයේ මඟපෙන්වීම ඉතා වැදගත් කොට සලකනවා - ජනපති Featured

සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එබැවින් නව ආර්ථික ක්‍රමයක් මෙන්ම දේශපාලන ක්‍රමයක් ද රට තුළ කඩිනමින් ඇති කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම නව මාවතට රට ගෙන ඒමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් කොට සලකන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පිරිවෙණේ ඊයේ (10) පස්වරුවේ පැවත්වුණු මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ උපසම්පදා විනයකර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සිට ජූලි 14 වනදා දක්වා මහාඒදණ්ඩ හල්වතුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර ස්වාමීන් වහන්සේලා 98 නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරේ.

විහාරස්ථාන 600කට අධික ප්‍රමාණයක ස්වාමීන් වහන්සේලා 4000කට අධික පිරිසක් නියෝජනය කරන අමරපුර අරියවංශ සද්ධම්යුක්තික පාර්ශ්වය වසර දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදු කරයි.

ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පරිවෙණාධිපති පූජ්‍ය ගිනිගල පෙදෙසේ සුධම්ම ස්වාමීන් වහන්සේ විසින් උපසම්පදා මහෝත්සවයට අදාළ සමරු ග්‍රන්ථය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

පුණ්‍යෝත්සවය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

උපසම්පදා විනය කර්මය පැවිදි ඉතිහාසයේ ශක්තිමත්ම අවස්ථාවයි. එම උත්සවයේ වැදගත්කම නිසාම ඈත අතීතයේ සිට ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. අද මේ සිදුකරන උපසම්පදා මහෝත්සවයට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය දෙයාකාරයකින් ලැබුණා. පළමුවැන්න සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් ලැබුණු උපසම්පදාවයි. මියන්මාරයේ අමරපුරින් ලැබුණේ දෙවන ක්‍රමයයි.

ශ්‍රී ලංකාවේ උපසම්පදා විනය කර්මය සිදු නොවු වකවානුවක් තිබුණා. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම සහ රාජ්‍ය අනුග්‍රහය මත සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් පළමුවරට උපසම්පදාව රැගෙන ආවා.

ඉන් පසුව නැවත උපසම්පදාව නැති වී ගිය විට මියන්මාරයේ අමරපුර රාජ්‍යයෙන් නැවත උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළා. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ලක පාලනය කරන සමයේ භික්ෂූත්වය සහ ශාසනය රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා සිදුකළ සේවාව අතිමහත් බව ද කිවයුතුයි.

මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොලොත් වුණා . කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල් අපනයන ආර්ථිකයක් කරා සිය රටවල් මෙහෙයවනු ලැබුවා.

එම නිසා අප නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් රට තුළ කඩිනමින් ඇතිකළ යුතුයි. මෙම නව මාවතකට රට ගෙනයාමේ වැඩපිළිවෙළේදී සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා,

උපසම්පදා පුණ්‍යකර්මය ගැන කතා කරන විට එය ශාසන ඉතිහාසයේ පළමු ධර්ම සංඝායනාව දක්වා දිව යනවා. විනය රකින තාක්කල් ශාසනය රැකෙනු ඇති බව එම සංඝායනාවේදී දේශනා කළා. එම වදන අප කාටත් ආදේශ කළ හැකියි. රටක විනයක් නොමැති නම් එම් රට කඩා වැටෙන්නට වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ. එම නිසා රටේ ඉදිරි ගමනට බුදු දහමින් ලැබෙන පූර්වාදර්ශය ඉතාම වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාවේ උපසම්පදාව නොමැති කාල වකවානුවේ තායිලන්තයෙන් උපසම්පදාව ගෙන ඒම සඳහා තුන් වතාවක් අපේ භික්‍ෂූන් වහන්සේලාට තායිලන්තයට වැඩම කිරීමට සිදු වුණා. එසේ අපහසුතා රැසකට මුහුණදී ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනෙන ලද මෙම උපසම්පදා විනය කර්මය රැක ගැනීමට අපේ මහා සංඝරත්නය කටයුතු කළා. එම නිසා මහනායක ස්වාමින් වහන්සේ දේශනා කළ ආකාරයට කතිකාවත් පනත ඔබවහන්සේලා නිර්දේශ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ එය සම්මත කිරීමට හැකියාව තිබෙනවා.

පූජ්‍ය ගංතුනේ අස්සජී මහා නායක ස්වාමින් වහන්සේ, මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහානායක කුරුණෑගල රිදීගම රබ්බඩගල්ල විහාරාධිපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමින් වහන්සේ, අනුනායක පූජ්‍ය වල්පොළ විමලඤාණ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළෙ, ගයන්ත කරුණාතිලක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය අර්.එච්.එස්.සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website