සිකුරාදා, 12 ජූලි 2024 10:28

ඉන්දියාවෙන් එල හරකුන්.. පකිස්තානයෙන් මී හරකුන්.. Featured

දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපති හා පකිස්ථාන මහකොමසාරිස් සමඟ කළ සාකච්ඡාවල දී මෙම එකඟත්වය පළ කර තිබේ

මෙරට පකිස්ථානු මහ කොමසාරිස් Major General Faheem Ul Aziz මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කළේය.

 

එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්‍යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කළේය.

 

එමනිසා පකිස්ථානය ද මේ සම්බන්ධව සහයෝගය පළ කරනු ඇතැයි රජය වශයෙන් අපේක්ෂා කරන බවට අමාත්‍යවරයා කළ ඉල්ලීම සලකා බලමින් පකිස්ථාන රජය විසින් ද ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පාකිස්ථානු මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

 

මෙම සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය. මෙම ගවයින් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන එළගවයින් හා මීගවයින් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.

 

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම අප රටට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

 

අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින්ගෙන් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරී ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් ගවයෙකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතී.

 

ලබන වසරේ දී කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබේ. එම ඉලක්කය ජයගැනීම සඳහා මේ වනවිට පියවර රැසක් රජය විසින් ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website