ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (08) රාත්‍රියේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී එම ජනතාව හමු වූ අවස්ථාවේ ඔවුන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත්වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සඳහන් කර තිබෙන බවයි.
වරාය පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් පවතින අතර ඊට සමගාමීව හම්බන්තොට සහ කොළඹ වරාය ද සංවර්ධන කෙරෙන බවයි. චීනයේ චෝංකිං වෙත ගමන් කිරීමට මියන්මාරයේ ඉදිකෙරෙන නව වරායත් සමඟ බෙංගාල බොක්ක කලාපය ද සම්බන්ධ කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, ඒ අනුව ඉන්දියන් සාගරයේ බටහිර සහ නැඟෙනහිර කලාප දෙකම නාවික ගමනාගමනය සඳහා සංවර්ධනය කිරීමට හැකි වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට මත්ද්‍රව්‍ය විරෝධී අණදෙන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය, මත්ද්‍රව්‍ය පාලනය කිරීමට ගන්නා පියවර සහ මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී දඬුවම් විඳින තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු සියලු කටයුතු මේ ආයතනයෙන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පවතින නීතිවලට වඩා දැඩි නීති ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා. මම මේ රට භාර ගන්නා විට, අපේ ආර්ථිකයට, පවතින ණය බර දැරිය නොහැකි බවත්, ආර්ථිකය කඩාවැටෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණා.
අපට ණය ගෙවීමට නොහැකි වුණා. ණය තිරසරභාවය නැතිවුණා. ඒ අනුව ණය ගෙවීම සඳහා ණය තිරසරභාවය ඇති කරගත යුතු වුණා. ණය ගැනීමත්, මුදල් මුද්‍රණය කිරීමත් නතර කිරීමට අපට සිදුවුණා. රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම ද සිදු නොකරන ලෙස අපට දැනුම් දුන්නා. එම බැංකු සඳහා මූල්‍ය ප්‍රාග්ධනය යෙදවීමට අපට සිදු වුණා.
මේ තත්ත්වය හමුවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අපට වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. එය ඉතාම අසීරු තීරණයක් වුණා. නමුත් එයින් ප්‍රතිඵල ලැබෙන බව අප දැන සිටියා. වැට් බදු වැඩි කිරීමත්, ආදායම් බදු ක්‍රම මාරු කිරීමත් අප කළා. එහි ප්‍රතිඵල අද වන විට ලැබී තිබෙනවා. ඒ අනුව රටේ ආදායම් වැඩි වන විට රුපියල ශක්තිමත් වුණා. රුපියල් 370ට තිබූ ඩොලරය රුපියල් 300ක් මට්ටමට පැමිණියා. ඒ නිසා භාණ්ඩ මිලත්, පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිලත් ක්‍රමක්‍රමයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමට පටන් ගත්තා. නමුත් ගැටලුවක් තිබුණා. 2019 වසරේ ඩොලරය පැවතුණේ රුපියල් 185ත් 190ත් අතර අගයකයි. භාණ්ඩ මිල සකස් වී තිබුණේ ඒ අනුවයි. ඩොලරය රුපියල් 370 දක්වා ඉහළ යන විට භාණ්ඩ මිලත් ඒ හා සමානවම ඉහළ ගියා. නමුත් අපේ ආදායම ඉහළ ගියේ නැහැ. බදු පැනවූ නිසා ආදායම තවත් අඩුවුණා. ඒ නිසා අප ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළා. පළමුවෙන්ම අපි අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කළා. 2024 ආදායම් වැඩිවන විට රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබාදීමටත් අප කටයුතු කළා. 2024 වසරේ අයවැයෙන් රුපියල් 10,000ක් ලබා දුන්නා. එළඹෙන වසරේ සිට උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක වෙනවා. එම නිසා 2025 – 2026 කාලසීමාවේ වැටුප් සහ දීමනා දෙකම වැඩි වෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී තීරණය කළයුත්තේ මේ වැඩ ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්නයි. අපේ අරමුණ අපනයන ආර්ථිකයකට පරිවර්තනය වීමයි. ඒ වගේම ආණ්ඩුව සහ පෞද්ගලික අංශය එක්ව රැකියා 100,000ක් බිහිකිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. විදේශ රැකියා සඳහා යොමුවන පුද්ගලයන් 50,000කට පුහුණුවීම සඳහා ආධාර ලබාදීමටත් අප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපනයන ආර්ථිකයකින් අපේ ධීවර කර්මාන්තය සංවර්ධනය කරමින්, එළඹෙන වසරේ සංචාරකයන්ගේ පැමිණීම දෙගුණයක් බවට පත් කර ගන්නවා, කෘෂි නවීකරණය, නව ආයෝජන කලාප ඇති කිරීම, ඩිජිටල් ආර්ථිකයක් ඇතිකිරීම යන කරුණු සියල්ලම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අන්තර්ගතයි. බංකොලොත්භාවයට පත් වූ රටක් සාමාන්‍ය තත්ත්වයට ගෙනඒමට අනෙක් රටවලට වසර දහයක් පහළොවක් පමණ කාලයක් ගත වුණා. නමුත් මගේ බලාපොරොත්තුව 2027 වසර වන විට මේ වැඩ අවසන් කිරීමයි.
අනෙක් අපේක්ෂකයන්ට මේ කටයුතු කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සමගි ජන බලවේගයට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් තිබෙනවා. නාලක ගොඩහේවාගේ “සැමට ජයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනෙක් පිරිසගේ Blue Prin 3.0 ප්‍රතිපත්ති ප්‍රකාශය තිබෙනවා. ජාතික ජන බලවේගයේ මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක අපේ රටේ ව්‍යාපාරිකයන් අපනයන ආර්ථිකයකට යොමු වෙමින් ඉන්දියාවටත්, අප්‍රිකාවටත් අපේ නිෂ්පාදන අපනයනය කළයුතු බව පසුගිය දවසක ප්‍රකාශ කළා.
ඒ නිසා අපේ වැඩපිළිවෙළ ඔවුන් ද අනුගමනය කරනවා කියා මමත් සතුටු වුණා. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මේ දක්වා එළැඹී ඇති සියලුම නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බවයි. නිදහස් වෙළෙඳ ගිවිසුම් නැතිව අපනයන ආර්ථිකයක් ඇතිකර ගන්නේ කොහොමද? ඒ වගේම මේ රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධව සුනිල් හඳුන්නෙත්ති මහතා අධිකරණයට ගියා. අපනයන ආර්ථිකයක් ඇතිකිරීම ව්‍යවස්ථාවට විරුද්ධ බව එමඟින් ඔහු කිව්වා. ආනයන කර්මාන්ත මත තිබෙන ආර්ථිකය ආරක්ෂා කළ යුතු බවත් එමඟින් ප්‍රකාශ කර තිබුණා.
මොරවක තිබූ මගේ රැස්වීමේදී ඊට පසුවදා ඔහු මොරවකට පැමිණීමට නියමිතව තිබු නිසා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස මා ඉල්ලා සිටියා. නමුත් ඒකට පිළිතුරක් දුන්නේ නෑ. මහ බැංකු බැඳුම්කර වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කරන බව කිව්වා. එය මට අදාළ නැහැ. ඒ නිසා මම අද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම ඔහු යාපනයේදී ප්‍රකාශයක් කර තිබුණා. මම ඒ ගැනත් විමසුවා. ඔහු ඊට පිළිතුරක් දෙන්නෙත් නැහැ. අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ ගැන අහනකොට මහ බැංකු වංචාවක් ගැන කියනවා. ඒ ගැන තරහ ගිහින් අද තිබුණ තරුණ හමුවකදී මට බැනලා තිබෙනවා. නමුත් ජාතික සමඟියට එකඟයි කියා කිව්වා. ඒ ගැන මම සතුටු වෙනවා.
ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතාද මෙහිදී කතා කළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජයසිරි මුණසිංහ