බදාදා, 11 සැප්තැම්බර් 2024 12:33

රට යවන්න සල්ලි අරන්! රාජ්‍ය ඇමැතිට දැල එළයි Featured

ලේකම් ගත්ත සල්ලි දැනටම දීලා

සල්ලි භාගයක් ඇමැතිගේ ගිණුමටලු

ඕකට සම්බන්ධ මම නෙමෙයි මගේ පියන් කෙනෙක් – දැන් ඒක විසඳලා චෝදනාවට ලක්වූ අරුන්දික කියයි

කොච්චිකඩේ ප්‍රදේශයේ කාන්තාවක ඔස්ටේ්‍රලියාවේ රැකියාවක් සඳහා යවන බව කියමින් එම කාන්තාවගෙන් රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම වංචාවට සම්බන්ධව බව කියන රාජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයකු යැයි කියාගත් පුද්ගලයකු ඉකුත් අගෝස්තු 01 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය වෙත පෙරේදා කැඳවා තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔහු ගෙන් ප්‍රකාශ ද ලබාගන්නා ලදී.

එහිදී මෙම මුදල් තමන් ලබාගත් බවට රාජ්‍ය ඇමැතිවරයා පිළිගෙන ඇත. පැමිණිලිකාර කාන්තාව ඔස්ට්‍රේලියාවට යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එම මුදල් වියදම් කළ බව පවසා ඇත.

අදාළ ආයතනවලින් එම මුදල් නැවත ලබාගැනීමෙන් පසුව ඒවා පැමිණිලිකාර කාන්තාව වෙත ලබාදෙන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අලී යැයි කියාගත් පුද්ගලයකුගේ මාර්ගයෙන් 30 හැවිරිදි මෙම කාන්තාව රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් ලබාදී ඇත්තේ ඔස්ටේ්‍රලියාව බලා යෑම සඳහාය. රාජ්‍ය ඇමැතිවරයා තමාගේ ළඟම හිතවතකු බව පවසා අලී නමැත්තා මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එම කාන්තාව අවස්ථා කීපයක දීම රාජ්‍ය ඇමැතිවරයා මුණගැසී මෙම ඔස්ට්‍රේලියා ගමන ගැන සාකච්ඡා කර තිබේ. අවස්ථා දෙකකදී මෙම කාන්තාව රාජ්‍ය ඇමැතිවරයාගේ සහ ඔහුගේ ලේකම් යැයි කියාගත් පුද්ගලයාගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඉකුත් ජනවාරි මාසයේ මෙම කාන්තාව ඔස්ටේ්‍රලියාවට යෑමට සූදානම් වන ලෙස දන්වා ඇති අතර ඇය ඒ සඳහා සූදානමින් ගුවන්තොටුපොළ වෙතට පවා ගොස් තිබිණි. එහිදී මෙම සංවිධානාත්මක පිරිස පවසා ඇත්තේ වීසා ලබාගැනීමේ ගැටලුවක් නිසා ඔස්ට්‍රේලියා ගමන ප්‍රමාද වන බවයි.

ඉන්පසුව මෙම කාන්තාව දිගින් දිගටම රවටමින් ඇයගේ ඔස්ටේ්‍රලියා ගමන සඳහා අවශ්‍ය පියවර ගැනීමට මොවුන් කටයුතු කර නැත. මේ සම්බන්ධයෙන් මෙම කාන්තාව කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 26 වැනිදාය.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ සහ ලේකම් යැයි කියාගත් පුද්ගලයාගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.

මෙම කාන්තාවගේ මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය කටයුතු කරමින් සිටියි.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

ඕක කළේ ලේකම් කෙනෙකු නොවෙයි. ඕකට සම්බන්ධ මගේ පියන් කෙනෙක්. දැන් ඒක නිත්‍යානුකූලව විසඳලා ඉවරයි. අදාළ චෝදනාව එල්ලවී ඇති රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු අප කළ විමසීමකදී පැවසීය.

හේමන්ත රන්දුණු

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website