ඉරිදා, 15 සැප්තැම්බර් 2024 10:53

අලුත් සමෘද්ධියේ කෝටි 14ක් වතුරේ Featured

අලුතින් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර ලබා දීම, ඔවුන් සවිබල ගැන්වීම සඳහා අපනයන ගම්මාන 500ක් පිහිටුවීම,

සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමට දිවයින පුරා සමාරම්භක වැඩසටහන් පැවැත්වීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් දාහතරකෝටි හතළිස් හත් ලක්ෂ තිස්තුන් දහස් අටසිය හතළිස් හතරක මුදලක් (144,733,844) වැයකොට ඇතත් එක අරමුණු කරා ළඟා වී නොතිබීම හේතුවෙන් අරමුදලෙන් දරනු ලැබූ වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

2019 වර්ෂයේ දී අලුතින් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර ලබාදීම, සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා අපනයන ගම්මාන 5000ක් පිහිටුවීම, එමගින් වසරකට ඩොලර් මිලියනයක් උපයන ආර්ථික ඒකකයක් දක්වා දියුණු කිරීම, සමෘද්ධි හිමිකම් ප්‍රදානය සඳහා දිවයින පුරා සමාරම්භක වැඩසටහන් පැවැත්වීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීම් සිදුකිරීම සඳහා වැඩසටහන් 350ක් ක්‍රියාත්මක කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් මෙම මුදල් වියදම් කර ඇත.

මේ සඳහා සමෘද්ධිලාභීන්ගේ සහනාධාර මුදලින් රුපියල් 500 බැගින් 2023 දෙසැම්බර් මස 31 දින දක්වා රුපියල් දාහතරකෝටි තිස් ලක්ෂ හැත්තෑපන් දහස් හයසිය පනස් හතරක මුදලක් (143,075,654) ප්‍රතිලාභින්ගෙන් අයකරගෙන තිබුණි. මෙකී මුදලින් රුපියල් නමකෝටි හැටහයලක්ෂ දොළොස් දහස් පන්සියයක මුදලක් (96,612,500) 2023 පෙබරවාරි මස සමෘද්ධි සහනාධාර මුදලින් සෘජුවම අය කර ගෙන තිබුණි.

ප්‍රතිලාභින්ගේ දායක මුදල් පලදායි ලෙස අදාළ අරමුණු වෙනුවෙන් යෙදවිය යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ සමෘද්ධි සංවර්ධන භාරකාර අරමුදලේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ නව සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලින් වැය කරනු ලැබූ රුපියල් දාහතර කෝටි හතළිස් හත්ලක්ෂ තිස්එක් දහස් එකසිය පනස් හතරක මුදලක් (144,731,154) අය කර ගෙන ඇති බවය.

ඉන් තවදුරටත් රුපියල් එක්කෝටි දෙදහස් හයසිය අනූවක මුදලක් (1,002,690) අය වීමට ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. සමෘද්ධි සංවර්ධන භාරකාර අරමුදල සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website