බදාදා, 09 ඔක්තෝබර් 2024 13:50

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය දෙනවා Featured

-ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම කරුණු අනාවරණය වූයේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කර ඇත. මෙම අවස්ථාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ සුබපැතුම් පණිවිඩය ද ජුලී චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී අමෙරිකානු තානාපතිනිය සඳහන් කළාය.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමට ද මෙහිදී සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් මෙහිදී එකඟාව පළ කර ඇත.

පුනර්ජනනීය බලශක්තිය, අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළි‍ෙවළට ද සහයෝගය දක්වන බව තානාපතිනිය සඳහන් කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල්වලට ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජස්ටින් ඩිවෙනන්සො (Justin Divenanzo) සහ ආර්ථික විශේෂඥ ක්‍රිස්ටෝපර් ගූච් (Christopher Gooch) මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website