ඉරිදා, 30 අප්‍රේල් 2023 21:46

රාජ්‍ය ආයතනවල ගිය වසරේ පාඩුව කෝටි ලක්ෂය පනී Featured

පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම පාඩු ලැබූ මුදල රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය අංශයට වියදම් කරන මුදලට සමාන බවද ඔහු සඳහන් කළේය.

මෙම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් අවශ්‍ය දැයි මෙහිදී ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසි සැලසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොව ශ්‍රී ලංකාවේ ජනතාවට බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් නිර්ණායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙම රටට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඒ සඳහා දේශපාලන අධිකාරිය සේම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සුවිශේෂ කැපකිරීමක් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම යල් පැනගිය අදහසක් බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

සුජිත් හේවාජුලිගේ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website