සිකුරාදා, 23 ජූනි 2023 11:03

පිටරටකදී ක්‍රීඩක අතුරුදන් වීම් වැළැක්වීම උදෙසා ඇප බැඳුම්කරය රු. මිලියනයකින් ඉහළට Featured

- නිශ්චල දේපළත් ඇපයට: වීසා දීම තරගාවලියට පමණයි

- ජාතික ක්‍රීඩා සභාපති අර්ජුනගෙන් යෝජනා මාලාවක්

විදෙස් ක්‍රීඩා තරගවලදී සිදුවන ක්‍රීඩක අතුරුදන්වීම් වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග යොජනා කිරීමට අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පියවර ගනියි. ක්‍රීඩකයින් විදෙස්ගතවීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අත්සන් කරන ඇප බැඳුම්කරය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට හා විදෙස්ගතවන ක්‍රීඩකයාගේ, ක්‍රීඩිකාවගේ නමට හෝ මවගේ, පියාගේ නමට ඇති නිශ්චල දේපළ වත්කමක් ඇප බැඳුම්කරයක් ලෙස තබා ගැනීම හා වීසා නිකුත් කිරීම අදාළ ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන සීමිත කාලයකට පමණක් සිදු කිරීම වැනි යෝජනා ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ජාතික ක්‍රීඩා සභාව සූදානමින් සිටින බව අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය. මේ යෝජනා ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත්කොට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඔස්සේ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළේය.

“ක්‍රීඩකයින් විදෙස්ගතවීමේදී දැනටමත් ක්‍රීඩා අමාත්‍යාංශය ගිවිසුමක් අත්සන් කරනවා. නමුත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විදෙස් සංචාරයක් අතරතුර අතුරුදන් වුවහොත් ගිවිසුම ඉදිරියට යෑමක් සිදු වන්නේ නෑ. මේ සම්බන්ධ ජාතික ක්‍රීඩා සභාව බොහෝ කරුණු සාකච්ඡා කොට තිබෙනවා. අපේ යෝජනා ඇතැම් ඒවා ජනප්‍රිය ඒවා නොවෙන්න පුළුවන්. අකමැත්තෙන් වුවත් දැඩි නීති පැනවීමට සිදු වෙනවා. ක්‍රීඩකයින් විදෙස් රටවලදී අතුරුදන්වීම් වැළැක්විය යුතුයි. මේ දෙයින් සිදු වන්නේ රටට විශාල අපකීර්තියක්. ක්‍රීඩකයන් පමණක් නොවෙයි ඇතැම් තරග සංචාරවලදී නිලධාරීන් අතුරුදන්වී තිබෙනවා. මේ සම්බන්ධ අදාළ ජාතික ක්‍රීඩා සංගමයටත් වගකීමක් තිබිය යුතුයි. ඉදිරියේදී විදෙස් ක්‍රීඩා තරගවලදී සිදුවන ක්‍රීඩක අතුරුදන්වීම් වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග අමාත්‍යාංශය ගන්නවා” රණතුංග මහතා ඊයේ ක්‍රීඩා අමත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය වසරේ අගොස්තු මාසයේ සිට ආරම්භ කරන ලද ජාතික ක්‍රීඩා සභාව මේ දක්වා කාර්යයන්රැසක් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා සිදු කර ඇතැයි ද සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් නායක අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය භාර ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කළ ආරාධනයක් අනුව ඒ මහතා එම තනතුරේ කටයුතු ආරම්භ කළේය. මේ කාලය ඇතුළත ජාත්‍යන්තර තරගාවලි 255ක් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1410ක් හා පුහුණුකරුවන්, නිලධාරීන් 516ක් විදෙස්ගතව ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්ගේ ගැටලු නිරාකරණය සදහා සෑම සතියකම බදාදා දිනයේ මහජන දිනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද රණතුංග මහතා පැවැසීය. “අපි හැමවිටම බලන්නේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ පැත්තයි. ක්‍රීඩා සංගම්වලින් හෝ වෙනත් පාර්ශ්වයකින් ක්‍රීඩකයන්ට සිදු වන අසාධාරණකම් සොයා බලා කටයුතු කිරීම අපේ අරමුණයි. ක්‍රීඩා අමාත්‍යාංශය නඩත්තු වන්නේ ජනතා බදු මුදලින්. ඒ නිසා ඒ මුදලින් උපරිම සාධාරණය විය යුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටයි. අනවශ්‍ය පරිදි නිලධාරින්ට රට සවාරි යන්න අවස්ථාව දෙන්නේ නෑ. ආසියානු ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් හා නිලධාරීන් 55ක් චීනයට යැවීමට යෝජනා වී තිබෙනවා. නමුත් ඒක අවසන් තීරණය නොවෙයි. නිලධාරීන් යම් ප්‍රමාණයක් මෙයින් අඩු කරන්න සිදු වෙනවා. ඒක ඉදිරියේදී ඇමැතිවරයාට යෝජනා කරනවා” යැයි අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙමඟින් ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවීමේදී අමතර නිලධාරීන් අවම කිරීමෙන් රාජ්‍ය මුදල් නාස්තිය අවම කිරීම වෙනුවෙන් සංයුතියක් හඳුන්වාදුන් බව ඒ මහතා සඳහන් කළේය. නිලධාරීන් හා පුහුණුකරුවන් විදෙස් තරග සංචාර සඳහා යෑමේදී ජාතික ක්‍රීඩා සභාව මඟින් සුපරික්ෂාකාරී විශ්ලේෂණයක් සිදුකොට නිර්දේශ ලබාදීම සිදුකරන අතර, එමඟින් අමතර රට සවාරි හා විනෝද ගමන් සඳහා ඉඩ ප්‍රස්ථා නොදීමට කටයුතු සිදුව ඇතැයි රණතුංග මහතා අවධාරණය කළේය.

ජාතික ක්‍රීඩා සභාව මඟින් උසස් කාර්ය සාධන වැඩසටහන උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් තෝරාගෙන ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කර ඇත. ක්‍රීඩා සංගම් 13ක තේරීම් කමිටු සඳහා නිර්දේශ ලබාදී ඇති අතර, ලියාපදිංචි ක්‍රීඩා තුළින් ඔලිම්පික්, ලෝක ශූරතා, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමේ ජයග්‍රහණ ලබාගත හැකි ආකාරය ප්‍රායෝගික දත්ත විශ්ලේෂණයෙන් හඳුනාගෙන වර්ගීකරණයට ලක් කිරීම ද සිදු කොට තිබේ.

ක්‍රීඩාවේ දියුණුවට අදාළ ජාතික ක්‍රීඩා සංගම් 60ක නිලධාරීන් හමුවී ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ඉදිරි සැලසුම් සාකච්ඡා කොට ඇති අතර, ක්‍රීඩා සම්බන්ධීකරණය වඩාත් හොඳින් පවත්වා ගැනීම සඳහා ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අතර නිරන්තර සාකච්ඡා පවත්වන බව ද ඒ මහතා පැවැසීය. ඇතැම් ක්‍රීඩා සංචාරවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති වන ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම උදෙසා අනුග්‍රාහක දායකත්වය ලබා ගැනීමට ජාතික ක්‍රීඩා සභාව සම්බන්ධීකරණ කාර්ය ඉටු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත්වී ඇති විගණන වාර්තාව පිළිබඳව අර්ජුන රණතුංග මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු පැවසුවේ මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

“විගණන වාර්තාව සම්බන්ධ තීරණ ගැනීම අමාත්‍යාංශය සතු කාරණයක්. මේ වේලාවේ වැදගත්ම දේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. දෙවනුව අනෙක් දේ ගැන කල්පනා කළ යුතුයි. මූල්‍ය විගණනය විය යුතුයි. ක්‍රිකට් මේ රටේ තියෙන්න ඕනේ. පුද්ගලයෝ වැඩක් නෑ. ක්‍රිකට් ආයතනය ලාභ ලබා තියෙන්නේ අනාගත ක්‍රිකට් තරගාවලි සංවිධානය වීමේදී ලැබෙන විකාශන අයිතීන් වැනි ආදායම් නිසයි. ඒ වගේම ක්‍රිකට් ආයතනය සිදු කර ඇති වියදම් මොනවාද යන්න සොයා බැලිය යුතුයි. අනික් කරුණ තමයි ක්‍රිකට් ආයතනය අනෙක් ක්‍රීඩාවලට ලබාදෙන සහයෝගය කොහොමද කියන කාරණාව. ඉන්දීය ක්‍රිකට් ආයතනය දැනටමත් වැය කරනවා. ඒක යුතුමක් ලෙස සලකා ඒ දේවල් ඔවුන් කරනවා. නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ඇති කර ගත යුතුයි. අමාත්‍යාංශය තමයි දන්නේ මොන ක්‍රීඩාවටද මුදල් යොමු කළ යුත්තේ. ඒ නිසයි ක්‍රමවේදය වැදගත් වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් වැය කළ යුත්තේ අමාත්‍යාංශයට අවශ්‍ය විදිහටයි” රණතුංග මහතා පැවසීය.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website