සෙනසුරාදා, 24 ජූනි 2023 09:31

දෙස් විදෙස් ඉහළ ඉල්ලුමක් ඇති තබ්බෝවේ දුම් කරවල   Featured

විදේශ විනිමය ගමට ගෙන එන තබ්බෝවේ දුම් කරවල බොහෝ පිරිසකගේ කෑමපතට රස එක් කරයි. තබ්බෝවේ දුම් කරවල සඳහා මේ දිනවල වැඩි ඉල්ලුමක් පවතින අතර, එයට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ එම කරවල අව්වේ වේළා නොගෙන ඍජුවම දුම් මැස්සක් උපයෝගි කරගනිමින් දුමේ වේළීමේදී ඇති වන පෝෂණීය ගුණය සහ අධික රසයයි. මේ නිසාම ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇත.

බහුතරයක් දෙස් විදෙස් සංචාරකයන් තබ්බෝව ජලාශය පසු කර යෑමේදී ඇති අලෙවිසල්වලින් මේ කරවල තොග සහ සිල්ලර ලෙස රැගෙන යයි.

මේ ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මේ කරවල දුමේ වේළීමේදී අධික පාඩුවක් දැරීමට සිදු වන බවයි. ඒ කරවල කිලෝවක් ගැනීමට මාළු කිලෝ දෙකක් වේළීමට සිදු වීමයි. තබ්බෝව ජලාශය ආශ්‍රිතව ජීවත්වන මිරිගල්ලන්, නයිලෝටි, තෙප්පලි ආදි මසුන් වර්ග මේ කරවල නිෂ්පාදනයට යොදා ගන්නා අතර, දිනකට කරවල කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කිරීමට හැකියාවක් ද පවතී. ඉතා පිරිසුදු ආකාරයෙන් දුම් ගසා වේළා ගන්නා මේ කරවලවලට වෙළෙඳපොළේ ඇත්තේ ද තරගකාරී මිලකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වසර ගණනාවක් දුම් කරවල අලෙවියේ නිරත වන චන්ද්‍රපාල මහතා පවසා සිටියේ මෙවැන්නකි.

"මම දැනට අවුරුදු ගාණක් මේ රස්සාව තමයි කරන්නේ. නොයෙක් කරවල කෑමට අරන් තියෙනවා. ඒත් කලපු කරවල, මුහුදු කරවල, වැව් කරවල කියලා වෙන් කළාට මේ කරවල බොහෝ දුරට වේළන්නේ අව්වේ දාලා. ඒ විතරක් නෙමෙයි, ඒවා වේළන්නේ නිකන් ගෝණි උඩ දාලා. නැත්තම් පොල්අතු උඩ දාලා. බල්ලො, පූසො, කාක්කො මේවට කට ගහනවා. සත්තු ජරා කරනවා. ඒත් මේ දුම් කරවල අපි හදන්නේ ඉතාමත් පිරිසුදු විදිහට. කිසිම වෙලාවක අපි මේ කරවල බිම දාලා වේළන්නේ නෑ. කරවලවලට වැලි එකතු වෙන්නේ නෑ. ඉතාම හොඳම ප්‍රමිතියෙන් අපි මේ කරවල හදලා පාරිභෝගික ජනතාවට දෙනවා. ඒ විතරක් නෙමෙයි, සතුන්ට වෙඩි තියලා දඩයම් කරලා දඩ මස් කෑමට ගන්න වුවමනා නෑ.

මේ කරවල දුම් මැස්සෙන් එළියට ගත්තාම නිකන් වුණත් කන්න පුළුවන් විදිහට හොඳට පදම් වෙලා තියෙනවා. ගොඩක් විදේශිකයන් මේ කරවල අපෙන් මිලදී අරන් නිකන්ම කෑමට ගන්නවා. ඔවුන් අතර ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ කරවල ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා. අද වෙළෙඳපොළේ බ්‍රොයිලර් කුකුල් මස් කිලෝ එකක් ගන්නවට වඩා මේ කරවල කිලෝවක් ගන්න එකෙන් පාරිභෝගිකයාට ලොකු ඉතිරියක් තියෙනවා."

 

වනාතවිල්ලුව සමූහ කේ.ප්‍රියංකර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website