අඟහරුවාදා, 23 ජූලි 2024 14:58

කළු සල්ලි ආවෙ කොහොමද කියලා හොයන්නෙ නැතුව කොහොමද ජාවාරම්කරුවන්ට දඬුවම් දෙන්නේ? Featured

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී ප්‍රකාශ කළේ අනියම් ආකාරයෙන් රටේ ජාතික ධනය සොරකම් කරගෙන උපයන කළු සල්ලි සියල්ලම රාජසන්තක කරන බවය.

නමුත් ඔහුගේ අනාගත රජයක මුදල් අමාත්‍යවරයා පවසන්නේ ජාතික ජන බලවේග අනාගත රජයක් මගින් කළු සල්ලි ප්‍රභවයන් සොයන්නේ නැතිව ඒ මුදල් තැන්පත් කරගැනීමට ඉඩ සලසන බව යැයි ද එසේ වූ විට ඔවුන් කියන ආකාරයට ජාවාරම්කරුවන්ට දඬුවම් දීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ගැටළුවක් පවතින බව ද, එක්සත් ජනරජ පෙරමුණ ප්‍රකාශ කරයි. අද (23) පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා වැඩිදුරටත් මේ අයුරින් අදහස් දැක්වීය.

“මම ඊයේ ඉතාම සතුටු වුණා අනුර කුමාර දිසානායක මහත්මයා ජපානයේ ගිහිල්ලා කරන ඒ කතාව දැක්කහම. ඔහු කිව්වා අනියම් ආකාරයෙන් රටේ ජාතික ධනය සොරකම් කරගෙන මේ විදිහට කළු සල්ලි උපයාගෙන ඉන්න මුදල්, දේපළ සියල්ලම රාජසන්තක කරන්න යනවා කියලා. අපි ඉතාම කැමතියි ඒ අදහස පිළිබඳව. පක්ෂයක් විදිහට. හැබැයි මෙතන විසංවාදයක් ඇති වෙනවා. ඒ වගේම ඔහුගේ අනාගත රජයක මුදල් ඇමතිවරයා වෙන්න සිටින පුද්ගලයා විසින්ම කියනවා. කළු සල්ලි වල ප්‍රභවයන් සොයන්නේ නැතුව ඒ කලු සල්ලි ගලා ආවේ කොහොමද කියලා සොයන්නේ නැතුව ඒ මුදල් තැන්පත් කරගැනීමට ඉඩ සලසනවා ඔවුන්ගේ අනාගත රජයකින් කියලා. එතකොට කොහොමද මේ කියන විදිහට මේ ජාවාරම්කාරයින්ට දඬුවම් දීම සිද්ධ කරන්නේ. එහෙම පැහැදිලි ගැටළුවක් ඇතිවෙනවා. කළු සල්ලි සුදු කිරීම මුදල් විශුද්ධිකරණය කියන එක රටට ඉතාම හානිකර දෙයක් කියලා; මුදල් විශුද්ධිකරණය මගින් කළු සල්ලි ආර්ථිකයට දායක කරගැනීමට යාම, ඒක නීතිගත කිරීම මගින් රටට සිදුවන්න යහපතක් නොවෙයි. අපි දකින්නේ, රටට සිදුවන්නේ අනර්ථයක් කියලා. උදාහරණයක් විදිහට කියනවා නම්, මේ කළු සල්ලි ජාතික ආර්ථිකයට දායාද කරගැනීමෙන් අපේ රටේ ඉන්න මේ අපරාධකාරයෝ. මේක අපේ රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම අත්දැකීම. අපරාධකාරයෝ වැඩි වෙනවා. මේ අපරාධ මගින් මුදල් සෙවීමට මේක උත්ප්‍රේරකයක් වෙනවා. ඇයි ඒ මොන අපරාධයක් කරලා මුදල් සොයාගත්තත් ඒ මුදල් මේ රට තුළම බැංකුවල තැන්පත් කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මුදල් මේ රට තුළම සුදු බවට පත්කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

අපේ රට මේ අද තිබෙන මේ තත්වයට පත්වීමට ප්‍රධානම හේතුවක් තමයි මේ රටේ මහජනතාවගේ මුදල්, ඒ වගේම මේ රටට ණය විදිහට ලබා ගත්ත මුදල් ගසා කෑම බරපතල විදියට සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා මේ රටේ දේශපාලකයෝ වගේම මේ රටේ නිලධාරීනුත් බොහොම දරුණු විදිහට මැදිහත් වෙලා කටයුතු කරනවා. එහෙම නිලධාරීන් ඉන්නවා. ඔවුන් අතේ කළු සල්ලි තියෙනවා. ඉතින් මෙවැනි වූ ප්‍රතිපත්තියකට යෑම මගින් සිද්ධ වෙන්නේ දේශපාලකයින්ට, අනාගතයේදී එන දේශපාලකයින්ට සහ අනාගතයේදී එන නිලධාරීන්ටත් මේ සඳහා පහසුකම් සැපයීම. හොඳ ව්‍යාපාරිකයෝ  ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඉතා විශාල වශයෙන් මහන්සි වෙනවා. නමුත් මේ කළු සල්ලි ව්‍යාපාරවලට යෙදවීමට ඉඩ සැලසුවොත් වෙන්නේ මේ හොඳින් ව්‍යාපාර කරලා මුදල් උපයන ව්‍යාපාරිකයන්ට මේ කළු සල්ලි මාෆියාව සමග තරඟ කිරීමට නොහැකි වීමෙන් මේ හොඳ ව්‍යාපාර කඩා වැටීමට පත් වෙනවා. ඒ නිසා අපි දකිනවා මේක බොහොම නරක තීන්දුවක් විදිහට. අපි මේ අද පත්වෙලා තියෙන ආර්ථික අර්බුදය අපි අන්තර්ජාතික අරමුදලත්, මූල්‍ය අරමුදලත් සමඟ ඉස්සරහට යන්න මේ ක්‍රමවේදය, ඒ වගේම ජාත්‍යන්තරව අපිට ණය ලබාදීලා තියෙන පුද්ගලයින් සමඟ ගිවිසුම්ගත වෙමින් අපි ඉදිරියට යන්න හදන ආකාරය. ඊළඟට මේ ජපානය, පැරිස් ක්ලබ් එක, චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ලෝක බැංකුව වගේ ආයතනත් මගින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අත්සන් කිරීම කළායින් පස්සේ නැවතත් අරමුදල් ලබා ගනිමින් තමයි අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සැලසුම් කරමින් සිටින්නේ. ඒ අරමුදල් ලබා ගැනීමත් බරපතල විදිහේ අර්බුදයකට ඇති වෙන්න පුළුවන් මේ වගේ ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කරන්න ගියොත්. කළු සල්ලි සොයා බැලීමකින් තොරව ජාතික ආර්ථිකයට දායක කරගැනීමට කටයුතු කරනවාය අනාගත රජයකින් කියන ප්‍රතිපත්තිය අපේ රටට ඉතාම හානිකර ක්‍රියාවක්. එවැනි දේකට ඉඩ දෙන්න එපා.”

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම්, මහාචාර්ය රෝහණ මහලියනආරච්චි මහතා;

“මුදල් විශුද්ධිකරණය කරනවා කියන්නේ නීති විරෝධීව හොයාගත්තු සල්ලි නීත්‍යානුකූලව කරනවා කියන එක. ඒක තමයි කියන්නේ කළු සල්ලි සුදු කරනවා කියලා. එතකොට මේ කළු සල්ලි බිහිවෙන්නේ, එහෙම නැත්නම් නීත්‍යානුකූල නොවන සල්ලි මොන ආකාරයෙන්ද ලෝකයේ මිනිස්සු හොයාගන්නේ? මේ ජාවාරම්කාරයෝ. නැත්නම් අපරාධකාරයෝ ප්‍රධාන වශයෙන්ම මේ කළු සල්ලිවලට, නැත්නම් නීති විරෝධී සල්ලිවලට, සම්බන්ධ වෙන්නේ අපරාධ සහ අපරාධකරුවන්. ඒක ජාත්‍යන්තර වශයෙන්ම පිළිගත්තු නියමයක්. මත්ද්‍රව්‍ය ජාවාරම, ලෝකයේ විශාල වශයෙන්ම කරන දෙයක්.හොර නීති විරෝධී අවි ජාවාරම, නීති විරෝධී මිනිස් ජාවාරම,  රේගු බදු ගෙවන්නේ නැතුව ඒ භාණ්ඩ හොරෙන් එක රටකින් තව රටකට ගෙනියනවා. නැත්නම් එක ස්ථානයකින් තව තැනකට ගෙනියනවා. මේ විදියට විවිධාකාරයෙන් මේ කළු සල්ලි බිහිවෙනවා. හොර සල්ලි මුද්‍රණය කරනවා මේවා සමහර වෙලාවට සංසරණය වෙනවා. ජාත්‍යන්තර වශයෙන් සම්මුතීන් ගණනාවක් තියෙනවා ඇති කරලා මේවයින් මේ රටවල් සහ පාලකයෝ සහ බැංකු පද්ධතිය සහ විශේෂයෙන්ම මූල්‍ය පද්ධතිය ගලවාගෙන නිවැරදි පිරිසිදු ආර්ථිකයක් ලෝකයේ ඇති කරන්න.

මුදල් විශුද්ධිකරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පියවර තුනකට. එකක් තමයි මේ නීති විරෝධීව හම්බ කරපු මුදල් ඒ කියන්නේ කළු සල්ලි මූල්‍ය ආයතන වලට කොහොමහරි ඇතුල් කරනවා. ඒ කියන්නේ තමන්ගේ ගිණුමක් හදලා ඒ ගිණුමට ඇතුල් කරනවා. ඊළඟ එක තමයි මේ මුදල් වල ප්‍රභවය මකා දාන එක. ඒ කියන්නේ මේ මුදල් කොහෙන්ද ආවේ කියන එක නැති කරලා දානවා. ඊළඟ එක තමයි මේ මුදල් යොදවනවා නීත්‍යානුකූල ව්‍යාපාරවලට යොදවනවා.

ලෝකයේ ආයතන මේ කළු සල්ලි, සුදු කිරීම තහනම් කරලා තියෙනවා ලෝකයේ විවිධ සම්මුතීන් මගින්. පළවෙනිම එක තමයි 1988 අවුරුද්දේ පැරිස් සම්මුතිය කියන එක. මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක අපද්‍රව්‍යවල නීති විරෝධී ජාවාරමට එරෙහි සම්මුතිය කියලා. වියනා සම්මුතිය කියලා. මේ වියනා සම්මුතියට අපි අත්සන් කරලා තියෙනවා රටක් හැටියට. එහෙනම් මේ නීති විරෝධී මුදල් පරිහරණයට අපි උදව් කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානාත්මක අපරාධ වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියටත් අපි අත්සන් කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතිය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මර්දනය කිරීම සඳහා වූ සම්මුතිය. මේ සම්මුතීන් හතරටම අපි අත්සන් කරලා තියෙනවා ලංකාව රටක් හැටියට. එතකොට අපට බැහැ මේ සම්මුතීන් වලට විරුද්ධව කටයුතු කරන්න. ලෝකයේ තියෙනවා මුදල් විශුද්ධිකරණයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රෙසලූෂන් එකක් පාස් කරලා තියෙනවා මේ ජාත්‍යන්තර සම්මුතීන්වලට විරුද්ධ වෙන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලට. ලංකාව පනත් තුනක් සම්මත කරලා තියෙනවා පහුගිය කාලේ 2005-2006 මේකට විරුද්ධව. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ 2006 අංක 5 දරණ පනත. මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ 2006 අංක 6 දරණ පනත, 2005 අංක 25 දරණ ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීම වැළැක්වීමේ සම්මුතිය කියන එක. එතකොට ලංකාවෙත් මේ නීති පනවලා තියෙනවා. 2008 යුරෝපා සංගමය මේවා තියෙද්දිත් ලංකාව ඇතුළු රටවල් 23 කට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කළා. මේ මුදල් විශුද්ධිකරණය කිරීමට පහසුකම්, එහෙම නැත්නම් ලිහිල් තත්වයන් තියෙන රටවල් හැටියට. ඒ නිසා අපිට කිව්වා ඕගොල්ලොන් ගාව තියෙනවා රිස්ක් එකක්.

අයි. එම්. එෆ්. එකේ කියන දේවල් අපිට පිළිපදින්න වෙනවා. ඒක ඉතින් හොඳ දේවල්. මොකද මේගොල්ලෝ දීලා තියෙනවා කරුණු 16 ක් රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගන්න. ඒකෙන් එකක් තමයි අපරාධ ආදායම් පනත කියලා පනතක් සම්මත කරගන්න කියලා තියෙනවා. ඒකට අපි කල් ඉල්ලලා තියෙනවා මාස හයක්. ඒ පනත නීති විරෝධීව හම්බකරපු මුදල්, ඒක මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී ආයුධ, නීති විරෝධී මිනිස් ජාවාරම් මේ ඕනෑම ක්‍රමයකින් යොදා ගන්න මුදල් රාජසන්තක කිරීමට කියන්නේ රාජසන්තක කිරීමට බලය පවරන පනතක් තමයි මේ පනත. අනාගතයේ ඒ එන කාටහරි සමහරු බලාපොරොත්තු වෙන විදියට මේ කළු සල්ලි කොහෙන් ආවත් කමක් නෑ, ඒවා අපි රටේ සංවර්ධනයට යොදා ගන්නවා කියලා එහෙම කරන්න හම්බවෙන්නේ නෑ. මොකද මේක ජාත්‍යන්තර සම්මුතීන් එක්ක බැඳිලා තියෙන ජාත්‍යන්තර වශයෙන් වලක්වලා තියෙන, වළක්වන්න ඒගොල්ලෝ දැඩි ක්‍රියාමාර්ග ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය තමයි ක්‍රියාත්මක වෙන නීති පනවන්නේ.”

එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අදහස් දක්වමින්;

“2021 අංක 18 දරණ මුදල් පනත ගෙනාවේ එවකට මුදල් ඇමතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒකේ හැඳින්වීමේම තියෙන කාරණාව තමයි නීත්‍යානුකූලව තමන් හොයාගත්ත ඒ ආදායම, ඒ මුදල ඔප්පු කරගන්න, පෙන්නන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා නම්, ඔවුන්ට ඒ මුදල් ආයෝජනය කරලා මේ රට ඇතුළට ගන්නවයි කියන පදනමින් තමයි ඒ පනත ගෙනාවේ. ඒ පනතේ හැඳින්වීමෙත් තිබෙන කාරණාවක් තමයි නීත්‍යානුකූල නොවන ආකාරයට සොයාගත්ත මුදල් වලට ඒ ඒ වත්කම් වලට, ඒ දේපළවලට යම් ආකාරයට බදු ක් රමයක් ඇති කළා. ඒක රටේ ආර්ථිකය ගන්නවා කියලා. දැන් මේ මාතෘකාව ඒකයි මම කිව්වේ යම් කෙනෙක් අරගෙන කාලයක් දුවගෙන ඇවිල්ලා, ඇමරිකානු පුරවැසියෙක් දුවගෙන ඇවිල්ලා ඒ බැටන් එක දුන්නා. තවත් ඒ වගේම කතා කියන කණ්ඩායමකට. මේක ඉතාම අගතිදායක දැක්මක්, අගතිදායක ප්‍රවේශයක්. දැන් මේ ආකාරයට ආර්ථිකය නංවන්නට පුළුවන්කම තිබ්බා නං මේ ආකාරයට මේ කළු සල්ලි නැත්නම් හොරකම් කරන ලද සල්ලි, දේපළ ගසා මිනිස්සුන්ගේ මහජන දේපළ වලින් අයුතු ආකාරයට ධනවත් වෙච්ච පුද්ගලයන්ගේ සල්ලි. එතකොට මත්පැන්, මත්ද්‍රව්‍යවලින් සොයාගත්ත සල්ලි වලින් ආර්ථිකයක් ස්ථාපනය කරන්න පුළුවන් නං, මේක හොඳට ම කරන්න පුළුවන් රාජපක්ෂලාට තමයි. ඒක කරන්න පුළුවන් නිසා තමයි බැසිල් රාජපක්ෂ 2021 අංක 18 දරණ මුදල් සංශෝධන පනතක් ගෙනාවේ. හැබැයි කරන්න බැරි වුණා. හැබැයි එහෙම එහෙන් ඒ ඒ සල්ලි ඒ ආකාරයට තිබ්බා කියලා, ඒ සල්ලි සමහරවිට ඔවුන්ගේ ඒ දේශපාලන කණ්ඩායම තුල හිතවත් පුද්ගලයන්ගේ අර මහ බැංකු බැඳුම්කර වලට යොදලා තිබෙන මුදල් මිලදී ගැනීම් සහ ඒවා නැවත ගෙවීම සඳහා යම් විදිහකට භාවිතා වෙන්ට පුළුවන්. හැබැයි කිසිඳු විදිහකට ආර්ථිකයක් ශක්තිමත් කරන්න ඒකට හැකියාවක් නෑ.

එහෙම ඒ ආකාරයට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ රාජ්‍ය යාන්ත්‍රණයම නීතියේ යුක්තිය පසිඳලන ආයතනයන් වලට දීලා තියෙන අධිකාරී බලයම යම් ආකාරයකට වැරදි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වෙද්දි නීති විරෝධී වත්කම් විමර්ශනය කිරීමේ කොට්ඨාශයක් එකක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වෙන් කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ඒ නීති විරෝධී වත්කම් කොට්ඨාශයෙන් තමයි ඇවිල්ලා කියන්නේ අර පැනලා යන්න උත්සාහ කරා කියලා වෙඩි කෑවා කියලා කිව්වා. අර මාකඳුරේ මධූෂ් කියන අපරාධ පුද්ගලයාගේ දේපල මෙච්චර දීලා අපි අත්පත් කරගත්තා. ඊට පස්සේ මං දැක්කා වර්තමාන පොලිස්පතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා ඒකෙදි යම් ආකාරයක දෝෂාරෝපණයකුත් එක්ක අපි මෙච්චර දේපල ගත්තා. මෙච්චර වාහන ගත්තා. මෙච්චර බස් ගත්තා. වාහන ගත්තා. මේවා අපි කරේ මේ යුක්තිය මෙහෙයවමින්ය. මේ යුක්තිය මෙහෙයුම. ඒ අනුව සාර්ථකයි. දැන් එතකොට දැන් පොලිස්පතිතුමා සහ පොලිසිය භාර ඇමතිතුමා නීති විරෝධී වත්කම් විමර්ශනය කිරීමේ කොට්ඨාශයක් කියලා එකක් ආරම්භ කරලා ඒක කටයුතු කරගෙන යන අතර මුල් කාලයේ පනතක් තිබ්බා. ඒ ආකාරයෙන්ම නැවත දේශපාලන කණ්ඩායමක් විසින් මේ වත්කම් ඒ ආකාරයට විමර්ශනය කළ යුතු නැහැ. මිනිස්සුන්ගේ ලේ, මස්, ඇට, නහර උරාගෙන එක කණ්ඩායමක් විසින් සාක්කුවට දාගත්ත මුදල්, එහෙම අසාධාරණ නැහැ. ඒ සල්ලි වලින් අපිට රට සුරපුරයක් කරන්න පුළුවන්ය, කියන අදහසින්, ප්‍රකාශයන් නිකුත් කරනවා. ඒ නිසා අපි හරියට ලැජ්ජ වෙනවා මේ රටට ආදරයක් තියෙන, මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනිස්සු විදිහට රට හූරගෙන කාපු මිනිස්සුන්ගෙන්, රටට නැවත ලේ එකක් දෙන්න කියන එක නෙමෙයි. ඒක කියන්න ඕනේ. වැදගත් දේශපාලන මතවාදයක් නියෝජනය කරනවා නම්, දේශපාලන දැක්මක් තියෙනවා නම් කරන්න ඕනේ, ඒ නීති විරෝධී තමන්ට ගණනය ඔප්පු කරන්න බැරි ආකාරයට අත්පත් කරලා තියෙන දේපළ සියල්ල අත්පත් කරගෙන රටේ මහජනතාවට ලබා දෙන්න ඕනේ. දැන් යම් කෙනෙක් කළු සල්ලි කියලා අදහස් කරන්නේ නීත්‍යානුකූලව තමන් වත්කම ඉපයූ ආකාරය කියාගන්නට බැරි ඒ එහෙම නැත්නම් වැරදි ආකාරයට මුදල් තමන් සන්තකයේ කරගත්ත මුදල් නැවත තමන් සන්තකයේ තිබීම කරන කොටගෙන ඒවා සුදු කරගන්න උත්සාහ කිරීමේදී සමහරවිට ඔවුන් දේශපාලන නියෝජිතයන්, දේශපාලන කණ්ඩායම් තමන්ගේ අරමුණු සඳහා භාවිතා කරනවා. ඒ නිසා අපි දන්නෑ සමහරවිට අපේ කළු සල්ලි ටික සුදු කරලා දෙන්න සහෝදරයා. අපි මෙච්චරක් ඔයාලට දෙන්නම් කියලා කිව්වද කියන්නත් බැහැ. නැත්නම් මචන් අපේ මොකක් හරි කරලා දෙන්න. එහෙම වෙන්නත් පුළුවන් වුණාද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැතුව තව සමහර වෙලාවක තියෙනවා දැන් මේ ඇඳුම් මහගෙන ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ සමහර වෙලාවට නීති විරෝධී පුද්ගලයන්ගේ මුදල් සුදු කරලා දුන්නා කියලා සමාජයේ කතාවක් තියෙනවා. ඒවා ඇත්තද දන්නෙත් නෑ. අපි විශ්වාස කරන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ අපරාධ නීතිය, රටේ මූල්‍යමය පනත් විශාල විදිහට සංස්ථාපනය කරලා, නීතියක් බවට පත් කරලා තියෙන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න.”

ප්‍රශ්නය:

ජාතික ජන බලවේගයේ නායකයා පසුගිය දවසක කියනවා සල්ෆියුරික් හදන්න ලංකාවේ ෆැක්ටරි එකක් දානවා කියලා, ඒ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ අදහස මොකක්ද?

පිළිතුර: (සුමේධ රත්නායක මහතා)

අපි පක්ෂයක් විදිහට නෙමෙයි මං පුද්ගලයෙක් විදිහට ඒක දකින හැටි පැහැදිලි කරන්නම්. අපි මේ දවස්වල දකින දෙයක් තමයි NPP එකේ වේදිකාවල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කියන මතය යටතේ සෑම දෙයක්ම මේ රට තුළ නිෂ්පාදනය කළ යුතුයි වගේ මතයක් ප්‍රකාශ වෙමින් කටයුතු කරමින් යනවා. අපි ඒක දකිනවා මේ ෆේස්බුක් එකෙත් ඒ අනුගාමිකයෝ කියනවා ඕනෑම දෙයක් ගැන කතා කළොත් එහෙම ඒ නිෂ්පාදනය කරාට කමක් නැහැනේ. ඉතින් ඒක හොඳයිනේ කියලා. මම දැක්කා එක්තරා රසායන විද්‍යා ගුරුවරයෙකුත් වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා ෆේස්බුක් එකටත්. අර චීනයේ මේ සල්පියුරික් හදන කර්මාන්තශාලාවක වීඩියෝ එකක් දාලා චීනේ හදනවා නම් ඇයි අපිට මේක හදන්න බැරි කියලා. ඉතින් අනුර කුමාර දිසානායක මහත්මයා කියපු කතාවේ වැරැද්දක් නැහැනේ. චීනයේ සල්පියුරික් හදනවා නම් මොකද වෙන්නේ? අපේ සල්පියුරික් හැදුවට ප්‍රශ්නය නැහැනේ කියලා. හැබැයි මං හිතන්නේ ඒ තුළ තිබෙන ඒ ආර්ථික දැක්ම වැරදියි. ඒ කියන්නේ අපි යම්කිසි ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා නම් අපි නිෂ්පාදන පිරිවැය ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතුයි. ඒ නිෂ්පාදන පිරිවැය නොසලකා භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් අපි කියමු සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමෙන් මේ සල්පියුරික් අම්ලය භාවිතා කිරීමෙන් හදන මේ සියලුම නිෂ්පාදන වල මිල ඉතා අධික වෙනවා. ඒ වගේම අපේ රට තුල අපනයනය කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කළොත් ඒ භාණ්ඩවලත් මිල අධික වෙනවා. ඒ නිසා කිසිම ආකාරයකින් අපිට තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කරන්න, ඒ තරඟකාරී ආර්ථිකයක් තුළ කටයුතු කිරීමට එවැනි නිෂ්පාදන තුළ තුලින් හැකි වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අම්ලයම ගන්නවා නම්, සල්පියුරික් අම්ලය නිෂ්පාදනය කිරීම සඳහා සල්ෆර් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මේ මහාචාර්යතුමාට ඉතාමත් හොඳ දැනුමක් තිබෙනවා මටත් වඩා ඒ පිළිබඳව. ලෝකයේ මේ සල්පියුරික් අම්ලය නිෂ්පාදනය වෙන රටවල් ගත්තොත් එහෙම ඒ වැඩියෙන්ම නිෂ්පාදනය වෙන රටවල් තමා චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඇමරිකාව සහ රුසියාව මේකට හේතුව ඔවුන් ළඟ සල්ෆර් තියෙනවා මේ සල්ෆර් නිෂ්පාදනය වෙන ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් තමයි එකක් මෙම බොරතෙල් පිරිසිදු කිරීමේ දී අපද්‍රව්‍යයක් විදියට එන සල්පර් භාවිතා කරනවා. අනිත් පැත්තෙන් ඔය ඉන්දුනීසියාව වගේ රටවල්වල සක්‍රීය ගිනිකඳු ආශ්‍රිතව සල්ප ඛනිජයක් විදිහට ඉතාමත් විශාල නිධි වශයෙන් තිබෙනවා. ඒ නිසා මේ සල්පර්, සල්පොක්සයිඩ් බවට පත් කිරීමෙන් ඉන්පසු ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි සල්පියුරික් අම්ලය නිපදවෙන්නේ. ඉතින් අපි අපේ රට තුල සල්පියුරික් අම්ලය නිෂ්පාදනය කරනවා නම් අපිට අනිවාර්යෙන් මේ පිටරටවලින් සල්ෆර් ගේන්න වෙනවා. ඒ ගෙනල්ලා නිෂ්පාදනය කරන සල්පියුරික් අම්ලය කිසිම අවස්ථාවක ඔය අපි කතා කරපු, සල්ෆර් තිබෙන රටවල් වල සල්පියුරික් අම්ලය මෙන් ලාභදායකව විකුණන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ මම ළඟදී සහභාගි වෙච්ච එක රූපවාහිනී වැඩසටහනකත් දැක්කා. ඒ වැඩසටහනට සහභාගී වෙච්ච එන්. පී. පී. එකේ සාමාජිකාවක් කියනවා අපි ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාව තුල නිෂ්පාදනය කිරීමට අවශ්‍යයි කියලා. ඒක තුල අපිට පේන දේ තමයි ඔවුන් මේ නිෂ්පාදන ආර්ථිකය කියන එක දකින්නේ මට සමහර වෙලාවට හිතෙනවා අර 1970 -77 කාලේ කතා කරපු නිෂ්පාදන ආර්ථිකය වගේ සියලුම දේවල් රටේ හදන්න ඕනේ නිෂ්පාදන පිරිවැය වගේ ගැන සලකන්නෙත් නැතුව. මේක අද තිබෙන ආර්ථිකයන්ට ගැලපෙන්නේ නැහැ ඒ නිසා මම හිතන්නේ මගේ දැක්මේ හැටියට මගේ දැනුමේ හැටියට ඒ සල්ෆියුරික් අම්ලය මේ රට තුල නිෂ්පාදනය කියන එක කිසිම තේරුමක් නැති රටට වාසි නැති වැඩක්.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website