Items filtered by date: නොවැම්බර් 2023

 

එක්ව හමුදා පන්නයේ පුහුණු ක්‍රියාකාරකම් සිදුකළ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් පහක් ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ලවූ මාරක ප්‍රහාරය සඳහා හමාස් සමග එක්ව සිටිබව, බීබීසී විශ්ලේෂණයකින් පෙන්වයි.

මේ කණ්ඩායම් ගාසා තීරය තුළ ඒකාබද්ධ අභ්‍යාස සිදුකර ඇති අතර, මාරක ප්‍රහාරයේ දී භාවිතා කළ උපක්‍රමවලට ඒවා බොහෝ සමාන විය. ඊශ්‍රායලය සමග ඇති බාධකයේ සිට කිලෝමීටර එකකට අඩු දුරින් පිහිටි ස්ථානයක ද මේ පුහුණුවීම් සිදුකර තිබේ. ඔවුහු එම වීඩියෝ සමාජ මාධ්‍යවල පළකර තිබුණහ.

මේ අභ්‍යාස අතරතුර දී ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලබාගැනීම, [ගොඩනැගිලි] සංකීර්ණ වැටලීම හා ඊශ්‍රායලයේ ආරක්ෂක උපක්‍රම බිඳ දැමීම සඳහා පුහුණු වී තිබේ. මින් අවසන් ක්‍රියාව සඳහා පුහුණුවීම් සිදුකර තිබුණේ ප්‍රහාරයට 25 දිනකට පෙර ය.

හමාස් සංවිධානය එහි සටන් උපක්‍රම මුවහත්කර ගැනීම සඳහා ගාසාහි පිල් එකට එක්කළ ආකාරයත්, අවසානයේ ඊශ්‍රායලය තුළ වැටලීමක් දියත් කරමින් කලාපය යුද්ධයකට ඇද දැමූ ආකාරයත් පිළිබඳ සාක්ෂි බීබීසී අරාබි සේවය හා බීබීසී වෙරිෆයි විසින් එකතුකොට ගෙන තිබේ.

'එකමුතු බවේ සලකුණක්'

2020 දෙසැම්බර් 29 වැනිදා හමාස්හි නායක ඉස්මයිල් හනියේ, ගාසාහි විවිධ සන්නද්ධ කන්ඩායම් අතර "එකමුතුබවේ සලකුණක් සහ ප්‍රබල පණිවිඩයක්" ලෙස හැඳින්වූ ද Strong Pillar (ස්ට්‍රෝං පිලර්/ ශක්තිමත් කුලුන) යන සංකේත නාමයෙන් යුතුවූ ද අභ්‍යාස හතරකින් පළමුවැන්න ප්‍රකාශයට පත්කළේ ය.

ගාසාවේ සන්නද්ධ කණ්ඩායම්වල බලවත්ම කණ්ඩායම ලෙස, "ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක්" විසින් අධීක්‍ෂණය කෙරුණු යුද ක්‍රීඩා පන්නයේ අභ්‍යාසයක් සඳහා තවත් පලස්තීන කණ්ඩායම් 10ක් එක් කළ ඒකාබද්ධ කණ්ඩායමක ප්‍රමුඛ බලවේගය හමාස් විය.

මේ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරිය, ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් මධ්‍යම පාලනයක් යටතේ සම්බන්ධීකරණය කිරීම සඳහා 2018 දී පිහිටුවනු ලැබුණි.

2018ට පෙර හමාස් සංවිධානය, ගාසාවේ දෙවැනි විශාලතම සන්නද්ධ පිල හා හමාස් මෙන්ම එක්සත් රාජධානිය සහ තවත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන ලද පලස්තීන ඉස්ලාමික ජිහාදය (PIJ) සමග නිල වශයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකර තිබුණි.

හමාස් මින් පෙර අර්බුදවල දී වෙනත් කණ්ඩායම් ද සමග එක්ව සටන් වැද ඇතිමුත්, 2020 අභ්‍යාසය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා ලද්දේ වඩාත් පුළුල් කණ්ඩායම් සමූහයක් ඒකාබද්ධ වනබවට සාක්ෂි ලෙස ය.

මේ පළමු අභ්‍යාසය මඟින් සන්නද්ධ "ස්ථිර සූදානම" පිළිබිඹු කරනබව හමාස් නායකයා පැවසුවේ ය.

2020 වසරේ සිදුකෙරුණු අභ්‍යාසය, තෙවසරක් තුළ දී පැවැත්වුණු ඒකාබද්ධ අභ්‍යාසයන් හතරක පළමුවැන්න විය. මේ සෑම අභ්‍යාසයක්‌ම, ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවල පළ කරන ලැබූ හොඳින් සකස් කළ වීඩියෝ මඟින් වාර්තාගතකර තිබුණි.

ටෙලිග්‍රෑම් නම් පණිවිඩ යැවීමේ ඇප් එක හරහා පළකෙරුණු දර්ශනවලින්, 'ස්ට්‍රෝං පිලර්' අභ්‍යාසයන් සඳහා හමාස් සමග සහභාගීවූ PIJ ඇතුළු කණ්ඩායම් 10ක් බීබීසීය විසින් ඒ කණ්ඩායම්වලට සුවිශේෂී සිරස්පටි හා ලාංඡන හරහා දෘශ්‍යමය වශයෙන් හඳුනාගෙන ඇත.

ඔක්තෝබර් හත්වැනි දා ප්‍රහාරයෙන් පසු, මේ කණ්ඩායම්වලින් පහක් ඒවා ප්‍රහාරයට සහභාගීවනු පෙන්වනබව කියන වීඩියෝ දර්ශන පළකළහ. තවත් කණ්ඩායම් තුනක්, මේ ප්‍රහාරයට සම්බන්ධ වූ බව පවසමින් ටෙලිග්‍රෑම් හරහා ලිඛිත ප්‍රකාශ නිකුත් කළේ ය.

මේ අනෙකුත් කණ්ඩායම් විසින් ඔක්තෝබර් හත්වැනි දා ඊශ්‍රායලයේ සිට ගාසා තීරයට අල්ලාගෙන ගියබවට විශ්වාස කෙරෙන දුසිම් ගණනක් කාන්තාවන් සහ ළමුන් සොයාගන්නැ යි හමාස් වෙත එල්ලවෙන පීඩනය දැඩිවෙමින් පවතින මේ අවස්ථාවේ, එම කණ්ඩායම්වල භූමිකාව දැඩි අවධානයට ලක්ව ඇත.

PIJ, මුජහිදීන් බලකායන් හා අල්-නසර් සාලා අල්-දීන් බලකායන් යන කණ්ඩායම් ත්‍රිත්වය එදින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ලබාගත්බවට පැවසෙයි.

ගාසා තීරයේ තාවකාලික සටන් විරාමය දිගු කිරීමට ගන්නා ප්‍රයත්නයන් රඳා පැවතෙන්නේ, හමාස් විසින් මේ ප්‍රාණ ඇපකරුවන් සොයාගැනීම මතබව පැවසෙයි.

Images of Palestinian militants during training

මේ කණ්ඩායම් සියල්ල දැඩි මතධාරී ඉස්ලාමිකත්වයේ සිට සාපේක්ෂව අනාගාමිකත්වයක් දක්වා පුළුල් දෘෂ්ටිමය පරාසයක පැතිරී තිබුණ ද, මේ සියල්ලෝ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට කැමැත්තක් දැක්වූහ.

හමාස්හි ප්‍රකාශයන්, ගාසාහි මේ විෂම සන්නද්ධ කණ්ඩායම් අතර එකමුතුකමේ තේමාවක් ගැන යළි යළිත් අවධාරණය කළේ ය. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන සැලසුම් සකස් කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළේ හමාස් සංවිධානයවුව ද, මේ කණ්ඩායම් සියල්ල ඒකාබද්ධ අභ්‍යාසවල සම-හවුල්කරුවන්බව එය හැඟවීය.

පළමු අභ්‍යාසයේ දර්ශනවලින්, බංකරයක හිඳ මුහුණ වසාගත් අණදෙන නිලධාරීන් අභ්‍යාසය මෙහෙයවනබවක් දැක්වෙන අතර රොකට් ප්‍රහාර මුරයකින් එය ඇරඹෙයි.

අනතුරුව, දැඩි සේ ආයුධ සන්නද්ධ සටන්කාමීන් ඊශ්‍රායල ධජයකින් සලකුණුකොට ඇති ව්‍යාජ යුද ටැංකියක් අල්ලාගනු, එතුළ සිටි පුද්ගලයෙකු අල්ලාගෙන සිරකරුවෙකු ලෙස ඉවතට ඇදගෙන යනු හා ගොඩනැගිලි වටලනු දැක්වෙන දර්ශනයක් පෙන්වයි.

ඔක්තෝබර් හත්වැනි දා 1,200ක් පුද්ගලයින් මරා දමමින්, ඇස්තමේන්තුගත 240 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකෙරුණු ප්‍රහාරයේ දී, සෙබළුන් අල්ලාගැනීමට හා සිවිල් වැසියන් ඉලක්ක කිරීමට මේ උපක්‍රම ද්විත්වයම භාවිතා වූ බව, එම සිදුවීමේ වීඩියෝ හා ඇසින් දුටු සාක්ෂි ප්‍රකාශ හරහා අපි දැනුවත්ව සිටිමු.

Masked men in military uniforms

| පළමු ස්ට්‍රෝං පිලර් ප්‍රචාරක වීඩියෝවෙන්, ඒකාබද්ධ අභ්‍යාසය අධීක්‍ෂණය කරන අණදෙන මැදිරියක් පෙන්නුම් කෙරිණි

ලෝකයට කියා පෑම

දෙවැනි 'ස්ට්‍රෝං පිලර්' අභ්‍යාසය සිදුකෙරුණේ ඉන් හරියටම වසරක් පමණ ගෙවුණු පසු ය.

හමාස්හි නිල සන්නද්ධ අංශය වන ඉසදීන් අල්-කසම් බලකායන්හි අණදෙන නිලධාරියෙකු වන ඇයිමාන් නොෆාල්, 2021 දෙසැම්බර් 26 වැනිදා පවත්වනු ලැබූ අභ්‍යාසයේ අරමුණ වූයේ "ප්‍රතිවිරෝධී කණ්ඩායම්වල එකමුතුබව තහවුරු කිරීමයැ"යි ප්‍රකාශ කළේ ය.

මේ අභ්‍යාසයන් විසින් "ගාසා දේශසීමාවේ පිහිටුවා ඇති තාප්ප හා ඉංජිනේරු ප්‍රතිකර්ම ඔවුන් ආරක්ෂා නොකරනබව සතුරාට පවසනු ඇතැ"යි ඔහු පැවසීය.

මේ "ඒකාබද්ධ හමුදා උපක්‍රම" සැලසුම්කර ඇත්තේ "ගාසා ආසන්නයේ පිහිටි ජනාවාස මුදාගැනීමේ පෙරහුරුවක්" ලෙස බව තවත් හමාස් ප්‍රකාශයක දැක්විණි. මෙහි 'ජනාවාස' යනු හමාස් විසින් ඊශ්‍රායල ප්‍රජාවන් හඳුන්වන නම යි.

අභ්‍යාසය 2022 දෙසැම්බර් 28 වැනිදා යළි සිදුකෙරුණු අතර, එම සිදුවීම සනිටුහන් කිරීම සඳහා හමුදා කඳවුරක අනුරුවක්බව පෙනෙන ස්ථානයක ගොඩනැගිලි හිස් කරමින් සහ යුද ටැංකි අල්ලා ගනිමින් සිටින සටන්කාමීන්ගේ ප්‍රචාරක ඡායාරූප ප්‍රකාශයට පත්කෙරිණි.

Images of Hamas capturing tank crew members

මේ අභ්‍යාසයන් ඊශ්‍රායලය තුළ වාර්තාකොට තිබූ බැවින්, එරට විස්තීර්ණ බුද්ධි අංශ විසින් ඒවා සමීපව නිරීක්ෂණය නොකළබව සිතීමට අපහසු ය.

මින් පෙර, හමාස්හි පුහුණු කටයුතු කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක බලකායන් (IDF) ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ. 2023 අප්‍රේල් මාසයේ දී, ඔවුන් පළමු 'ස්ට්‍රෝං පිලර්' සරඹ අභ්‍යාසය සඳහා යොදාගැනුණු ස්ථානයට බෝම්බ හෙළීය.

ප්‍රහාරයන්ට සති ගණනාවකට ප්‍රථම, ගාසා දේශසීමාව අසල සිටි නිරීක්ෂණ සෙබළියෝ ඒ ප්‍රදේශයේ ඩ්‍රෝන ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස ඉහළබවත්, හමාස් සංවිධානය ඔවුන් සිටි ස්ථානවල අනුරූ යොදාගෙන නිරීක්ෂණ මුරකපොළු අල්ලාගැනීමට පුහුණුවෙමින් සිටිබවත් අනතුරු අඟවා ඇතැ යි වාර්තාගත ය.

නමුත් ඊශ්‍රායල මාධ්‍යවල පළවූ වාර්තාවලට අනුව, ඔවුන්ගේ අනතුරු ඇඟවීම නොසලකා හැරිබව ඔවුන් පවසයි.

ගාසාහි හිටපු IDF නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් අවීවි බීබීසීයට මෙසේ පැවසුවේ ය: "ඒගොල්ලො ඒ පුහුණුවීම් කරනබවට ගොඩක් බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා - අනික, මේ වීඩියෝ ප්‍රසිද්ධ අවකාශවල පළකරලා තිබුණෙ. ඒ වගේම මේවා සිදුවෙමින් තිබුණෙ [දේශසීමා] වැටේ ඉඳන් මීටර සියගානක් ඈතින්."

හමුදාව අභ්‍යාස ගැන දැන සිටිය ද, එය "ඔවුන් පුහුණුවීම් කළේ මොකක් සඳහා ද " යන්න නොදැන සිටිබව ද ඔහු පවසයි.

2023 ඔක්තෝබර් 17 වැනිදා එය නොෆාල් "තුරන්කර දැමූ" බව IDF පැවසීය. ඒ, අර්බුදය අතරතුරේ මරා දැමුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් හමුදා නායකයා ය.

Images of Hamas taking hostages

එළිමහනේ සැඟවීම

මේ අභ්‍යාසයන්හි තාත්විකබව සහතික කිරීමට හමාස් බොහෝ වෙහෙසවිය.

2022 දී, සටන්කාමීන් එරෙස් මාරුවට කිලෝමීටර 2.6ක් පමණ ආසන්නයේ ඉදිරිකර තිබූ ව්‍යාජ ඊශ්‍රායල හමුදා කඳවුරක් වැටලීම පුහුණුවිය. එරෙස් මාරුව, ගාසා සහ ඊශ්‍රායලය අතර පිහිටි, IDF-පාලිත මාර්ගයකි.

ප්‍රදේශයේ ගුවන් ඡායාරූප හා හමාස් පුහුණුවීම් වීඩියෝවල පෙනෙන්නට තිබූ භූගෝලීය ලක්ෂණ සැසඳීමෙන්, බීබීසී වෙරිෆයි විසින් බාධකයට මීටර් 800ක පමණ දුරින් උතුරුදිග ගාසාහි පිහිටි මේ ස්ථානය නිවැරදිව හඳුනාගැනීමට සමත්විය. 2023 නොවැම්බරය වන විටත්, මේ ස්ථානය Bing Maps හරහා දැකගත හැකිව තිබුණි.

මේ පුහුණු කඳවුර පිහිටා තිබෙන්නේ ඊශ්‍රායල නිරීක්ෂණ කුළුනක සහ උස්කර තනන ලද නිරීක්ෂණ මැදිරියක සිට කිලෝමීටර 1.6ක දුරිනි. මේ නිරීක්ෂණ මැදිරි, ඊශ්‍රායලය ඩොලර් මිලියන සියගණනක් යොදා තනන ලද ආරක්ෂක බාධකයක අංගයන් ය.

Map showing the location of a Hamas training site

මෙම ව්‍යාජ කඳවුර බිම් මට්ටමේ සිට මීටර කීපයක් යටට හාරන ලද බිමක පිහිටුවා තිබූයෙන්, එය ඒ අවටින් ගමන් කරන ඊශ්‍රායල මුර සංචාරයන්ට එකවිටම නොපෙනෙන්නට ඇත. නමුත් පිපිරුම්වලින් නැගෙන දුම පැහැදිලිව දිස්වන්නට ඇති අතර, IDF ගුවනේ සිට නිරීක්ෂණ සිදුකරනබව ද ප්‍රසිද්ධ කරුණකි.

හමාස්, ගොඩනැගිලිවලට කඩා වැදීම, ගිනිඅවි පෙන්වා ප්‍රාණ ඇපකරුවන් ලබාගැනීම සහ ආරක්ෂක බාධක විනාශ කිරීම පුහුණුවීමට මේ අඩවිය භාවිතා කළේ ය.

ගාසා තීරයේ විවිධ ස්ථාන නවයක තිබූ පුහුණු කඳවුරු 14ක් සොයා ගැනීමට බීබීසී වෙරිෆයි විසින් චන්ද්‍රිකා ඡායාරූප ද ඇතුළුව පොදු ජනයාට පරිශීලනය කළ හැකි තොරතුරු භාවිතාකර ඇත.

ඔවුන් එක්සත් ජාතීන්ගේ ආධාර නියෝජිතායතනයක බෙදාහැරීමේ මධ්‍යස්ථානයක සිට කිලෝමීටර 1.6ක් පමණක් දුරින් පිහිටි ස්ථානයක දෙවරක් පුහුණුවීම් සිදුකර ඇත. අදාළ නියෝජිතායතනය 2022 දෙසැම්බරයේ පළකළ නිල වීඩියෝවක පසුබිමෙහි මේ ස්ථානය දිස්වනු පෙනෙයි.

Map showing 14 training sites in Gaza

ගොඩබිම, මුහුද හා ගුවන

2023 සැප්තැම්බර් 10 වැනිදා, ඊනියා ඒකාබද්ධ කමිටු මැදිරිය විසින් ගාසා බාධකය දිගට පිහිටි හමුදා ස්ථාපන නිරීක්ෂණය කරමින් සිටි හමුදා නිල ඇඳුමින් සැරසි තැනැත්තන්ගේ ඡායාරූප ඒ සඳහාම වෙන්ව තිබූ ටෙලිග්‍රෑම් නාලිකාවේ පළ කළේ ය.

ඉන් දෙදිනකට පසු සිව්වැනි 'ස්ට්‍රෝං පිලර්' හමුදා අභ්‍යාසය පැවැත්වුණු අතර, ඔක්තෝබර් හත්වැනි දා වන විට හදිසි ප්‍රහාරයේ දී යොදාගනු ලබන සියලු උපක්‍රමයන් සඳහා පෙරහුරුවන් සිදුකර තිබුණි.

ඔක්තෝබරයේ දී දකුණුදිග ඊශ්‍රායලය හරහා සැරිසරනු දුටු වර්ගයේම සුදු පැහැති ටොයෝටා පිකප් රථවල නැගී සටන්කරුවන් ගමන් කරන ආකාරය රූගතකර තිබුණි.

තුවක්කුකරුවන් ව්‍යාජ ගොඩනැගිලිවලට කඩාවැදී ඒවා තුළ වූ ව්‍යාජ ඉලක්කයන් වෙත වෙඩි තබනු මෙන්ම බෝට්ටුවක් සහ දියයට කිමිදුම්කරුවන් යොදාගනිමින් වෙරළකට කඩා වැදීමට පුහුණුවනු ද ප්‍රචාරක වීඩියෝවලින් පෙන්වයි. ඔක්තෝබර් හත්වැනි දා ඊශ්‍රායල වෙරළට ගොඩ බැසීමට උත්සාහ කළ හමාස් බෝට්ටු එරට විසින් වළකනු ලැබූ බව ඊශ්‍රායලය පවසයි.

Palestinian fighters training

| සිව්වන සහ අවසාන ස්ට්‍රෝං පිලර් අභ්‍යාසයේ දී ප්‍රහාරකයින් ගොඩනැගිලි වැටලීම පුහුණුවිය

කෙසේ වෙතත්, හමාස් සංවිධානය යතුරුපැදි හා පැරාග්ලයිඩර යොදා සිදුකළ පුහුණුවීම් 'ස්ට්‍රෝං පිලර්' ප්‍රචාරණයේ කොටසක් ලෙස පළ නොකළේ ය.

ඔක්තෝබර් හත්වැනිදායින් තෙදිනකට පසු හමාස් පළකළ පුහුණු වීඩියෝවකින්, යතුරුපැදිවලට ඊශ්‍රායලයට ඇතුළුවීමට හැකිවනු පිණිස වැටවල් සහ බාධක බිඳහෙළනු දැක්විණි. මෙය ඔවුන් දකුණුදිග ඊශ්‍රායලයේ ප්‍රජාවන් වෙත ළඟාවීමට භාවිතා කළ උපක්‍රමයකි. මින් පෙර පළකළ මීට සමාන වීඩියෝ අප විසින් හඳුනාගෙන නැත.

සටන්කාමීන් පැරාග්ලයිඩින් උපකරණ භාවිතා කරන දර්ශන ද ඔක්තෝබර් හත්වැනිදා ප්‍රහාරය දියත්වන තෙක් ප්‍රකාශයට පත්කර නොතිබුණි.

ප්‍රහාරය සිදු වූ දිනයේ පළකෙරුණු පුහුණු වීඩියෝවක, තුවක්කුකරුවන් ගුවන් පථයක පිහිටි ව්‍යාජ කිබුට්ස් ජනාවාසයකට ගොඩබසිනු දක්නට ලැබේ. මේ ගුවන් පථය දකුණු ගාසාවේ රෆා නගරයට උතුරින් පිහිටි ස්ථානයක පිහිටා ඇතැ යි අප විසින් සොයාගැණුනි.

එය 2022 අගෝස්තු 25 වැනිදාට ටික කලකට පෙර පටිගතකර ඇතිබව ද, 'ඊගල් ස්කවඩ්‍රන්' (Eagle Squadron) නම් පරිගණක ගොනුවක ගබඩාකර ඇතිබව ද බීබීසී වෙරිෆයි විසින් තහවුරු කෙරිණි. 'ඊගල් ස්කවඩ්‍රන්' යනු හමාස් එහි ගුවන් අංශය සඳහා භාවිතා කරන නම යි - මෙමඟින් පැරාග්ලයිඩර සැලැස්ම වසරකට වැඩි කලෙක තිස්සේ සැලසුම් කෙරෙමින් පැවැති බව යෝජනා කරයි.

Images of Hamas using motorcycles

ඊශ්‍රායලය පුදුමයට පත්කිරීම

IDF අණදෙන නිලධාරීන්ගේ ප්‍රකාශයන් උපුටා දක්වන වාර්තාවලට අනුව, ඔක්තෝම්බර් හත්වැනිදාට ප්‍රථමව ගාසා තීරයේ සිටියේ හමාස් සටන්කාමීන් 30,000ක් පමණ බව සැලකෙයි. එසේම, කුඩා කණ්ඩායම්වලින් දහස් ගණනක් සටන්කාමීන් ආකර්ෂණයකර ගැනීමට හමාස් සංවිධානයට හැකිබව ද සිතනු ලැබුණි.

අනෙකුත් පිල්හි සහාය නොමැතිව වුව ද, හමාස් යනු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් අතුරින් බලවත්ම කණ්ඩායම යි. අනෙකුත් කණ්ඩායම් එකමුතු කිරීමට එය තුළ වූ උනන්දුව මෙහෙයවනු ලැබුවේ එහි සටන්කාමීන්ගේ සංඛ්‍යාව ඉහළ දමාගැනීම තරමටම ගාසා තුළ එයට ඇති සහයෝගය තවත් පුළුල්කර ගැනීමේ උත්සහයක් ලෙසබව ද මින් අදහස් වෙයි.

ඔක්තෝබර් හත්වැනිදා වැටලීම්වලට සටන්කාමීන් 1,500ක් සහභාගීවූබව IDF පෙර දී ඇස්තමේන්තුකර තිබුණි. එම සංඛ්‍යාව 3,000ට ආසන්නයැ යි IDF දැන් විශ්වාස කරනබවට 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' (Times of Israel) මේ මස මුල දී වාර්තා කළේ ය.

මින් සත්‍ය සංඛ්‍යාව කුමක්වුවත්, ගාසා තීරයේ සිටින මුළු සන්නද්ධ ක්‍රියාකාරිකයින්ගෙන් මේ සඳහා සහභාගීවී ඇත්තේ සාපේක්ෂව කුඩා පිරිසක් පමණක්බැව් මින් අදහස් වෙයි. ප්‍රහාරයට හෝ 'ස්ට්‍රෝං පිලර්' අභ්‍යාසවලට කුඩා කණ්ඩායම්වල ප්‍රහාරකයින් කීදෙනෙකු සහභාගී වීදැ යි නිශ්චිත තහවුරු කළ නොහැකි ය.

ප්‍රහාරයට පෙර හමාස් විසින් සටන්කාමී පිල් අතරින් සහාය ගොඩනගමින් සිටිය ද, දැන් අධ්‍යයනය හා පර්යේෂණය සඳහා වන මැදපෙරදිග මධ්‍යස්ථානයේ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ලෙබනන හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් ජෙනරාල්වරයෙකු වන හිෂාම් ජබර් විශ්වාස කරන පරිදි, අවසන් සැලැස්ම ගැන දැන සිටින්නට ඇත්තේ හමාස් පමණි. "සමහර විට [ඔවුන්] මේකට එක්වෙන්න කියලා වෙනත් කණ්ඩායම්වලින් ඉල්ලන්න ඇත්තේ එදා දවසෙ," ඔහු පවසයි.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඇන්ඩ්‍රියාස් ක්‍රීග් බීබීසීයට මෙසේ පැවසීය: "මධ්‍යගත සැලසුම්කරණයක් තිබුණත්, ක්‍රියාත්මකවීම විමධ්‍යගතව සිදුවුණා - සෑම කණ්ඩායමක්ම ඔවුන්ට අවශ්‍ය විදියට සැලැස්ම ක්‍රියාත්මක කළා."

ඊශ්‍රායල ආරක්ෂාවේ දුර්වලකම ගැන විමතියට පත්ව සිටි හමාස් සංවිධානය තුළ පුද්ගලයින් හා කතාබහ කළබව පැවසූ ඔහු, සටන්කාමීන් ඊශ්‍රායලයේ නිරීක්ෂණ තාක්‍ෂණය මඟහරින්නට ඇත්තේ ඕෆ්ලයින් (off line) ලෙස සන්නිවේදනය කිරීමෙන් බවට තක්සේරු කළේ ය.

විදේශ සබඳතා පිළිබඳ යුරෝපා කවුන්සිලයේ මැදපෙරදිග විශ්ලේෂකයෙකු වන හියු ලොවට්, ඊශ්‍රායලය ඒකාබද්ධ අභ්‍යාස ගැන දැන සිටින්නට ඇති නමුත් ඒ ගැන "වැරදි නිගමනයකට එළැඹි"බව ද, ඒවා පලස්තීන බලප්‍රදේශවල පැරාමිලිටරි කණ්ඩායම්වල "සාමාන්‍ය" ක්‍රියාකාරකම් ලෙස මිස "ඉදිරියේ පැමිණෙන මහා පරිමාණ ප්‍රහාරයක ලකුණක්" ලෙස තක්සේරු නොකරන්නට ඇතිබව ද කියා සිටියේ ය.

මේ ලිපියෙන් මතුකළ ප්‍රශ්න පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක බලකායන් (IDF) විමසූවිට, "දැනට හමාස් ත්‍රස්තවාදී සංවිධානයෙන් එල්ලවන තර්ජනය තුරන් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැ"යි ද, වෙනත් දුබලකම් පිළිබඳ ගැටළු කෙරෙහි "පසු අදියරක දී සොයා බලනු ඇති" බවත් පැවසීය.

ඔක්තෝබර් හත්වැනිදා සිදුවූ සමූලඝාතනය වැළැක්වීමට තිබූ අවස්ථාවන් එය විසින් මඟහැරීයේ ද යන්න ඊශ්‍රායලය විධිමත් ලෙස සලකා බැලීමට වසර කිහිපයක් ගතවිය හැකි ය.

එහි හමුදාව, ඔත්තු සේවාවන් සහ ආණ්ඩුව සඳහා වන ප්‍රතිවිපාක අති ප්‍රබල විය හැකි ය.

(bbc/sandeshaya/sinhala)

පියැසි මත සූර්ය පැනල යටතේ විදුලි ඒකක මිලියන 483 ක් ජාතික පද්ධතියට

සිකුරාදා, 01 දෙසැම්බර් 2023 04:34

කොල්ලුපිටියේ හොර ඒජන්සියක් වටලයි

කොල්ලුපිටියේ හොර ඒජන්සියක් වටලයි

විනිසුරුවරුන් සඳහා අභ්‍යන්තර නියාමන ක්‍රමයක් පිහිටුවන්න - පාර්ලිමේන්තුවේදී ඔවුන්ට පහර නොදෙන්න - “නීතිඥ සාමූහිකය”

බ්‍රහස්පතින්දා, 30 නොවැම්බර් 2023 05:35

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්

ඊශ්‍රායලයේ කෘෂි රැකියා මැවූ දෙන්නෙක් අත්අඩංගුවට

කාර්යාංශ සේවා රැසක් නිවසේදීම සිදුකර ගැනීමට දැන් අවස්ථාව

මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ප්‍රමුඛතම කාර්යයි

ඉන්දියාවේ දින 17කට පසු සිරවී සිටි කම්කරුවන් පිරිස මුදාගැනෙයි

තායිලන්ත ජාතික ආබාධිත ක්‍රීඩකයකු සිය විවාහ මංගල්‍ය උත්සවයේදී හටගත් ආරවුලක් හේතුවෙන් මනාලිය ඇතුළු සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි තායි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website