අඟහරුවාදා, 09 අප්‍රේල් 2024 12:29

කොළඹ ජාතික රෝහලේ රෝගීහු 3ක් සැක එන්න­තෙන් මියගිහින් ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස කියයි Featured

රෝගි­යකු මිය­ගිය පසු අදාළ බෙහෙත ඉව­ත්කර ගත්තා – නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල්

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ අග­ති­යට පත් පාර්ශ්වය වන අල්ලස හෝ දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එම කරුණු ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ එම කරුණ මෙම නඩු­වට අදාළ කර­ගන්නා ලෙසය.

කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ජේ. ඒබ්‍ර­හිම් මහතා භාරයේ ඇති 16 වන වාට්ටු­වට ඉකුත් අගෝස්තු මස 13 වැනිදා ඇතු­ළත් කර ප්‍රති­කාර ලබ­මින් සිටි ඇඳ­ඉ­හ­පත් අංක 144882 උදය පෙරේරා, ඇඳ­ඉ­හ­පත් අංක 147477 ජොයො­නිකා අබේ­ව­ර්ධන සහ ඇඳ­ඉ­හ­පත් අංක 147293 අශෝක පලි­සේන යන රෝගීන් තිදෙනා අදාළ එන්නත ලබා­දී­මෙන් පසු දැඩි අසා­ත්මි­ක­තා­වය හේතු­වෙන් මර­ණ­යට පත්ව ඇතැයි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙහි දී නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය සඳ­හන් කළේ, ඉකුත් නඩු දිනයේ දී මෙම සිවිල් සංවි­ධා­නය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දෙනු ලැබූ අදාළ ලේඛ­නය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු­කළ බවත් එම සිද්ධි­යට අදා­ළව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය­ව­රුන් සමඟ සාක­ච්ඡා­වක් පැවැත්වූ බවත්ය.

මෙම සිද්ධි­යෙන් මර­ණ­යට පත් වූ එක් රෝගි­ය­කුට ප්‍රශ්න­ගත එන්නත ලබා දී ඇති අතර, එහි දී යම් අසා­ත්මි­ක­තා­වක් ඇති­වී­මෙන් පසු ඒ අව­ස්ථාවේ දී වෛද්‍ය­වරු ඔහුගේ ජීවි­තය බේරා­ගෙන ඇති නමුත් පසුව ඔහු මිය­ගොස් ඇති බවත් එහි දී වහාම වෛද්‍ය­වරු අදාළ බෙහෙත ඉවත් කර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

ඒ අනුව ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ගෙන්වූ ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ සහ පිලිකා නාශක ඖෂ­ධ­යක් වන ‘රිටො­ක්සි­මැප්“ එන්නත් මාත්‍රා රජයේ රෝහ­ල්ව­ලට ලබා­දී­මෙන් පසු මර­ණ­යට පත්වූ හෝ මේ වන­විට රෝගීන් බවට පත්වූ අය සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබන මැයි මස 30 වැනි­දාට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දෙන ලෙස ඉකුත් නඩු දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට නියෝග කළ පරිදි එම වාර්තා ලද පසු පරී­ක්ෂණ ආරම්භ කරන බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළාය.

මෙම නඩුවේ පළමු සැක­කරු වන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කාර සුගත් ජානක ප්‍රනාන්දු විසින් ටෙන්ඩර් ක්‍රම­වේ­ද­න­යෙන් පසු වෛද්‍ය සැප­යුම් අංශ­යට ලබා­දෙන ලද අදාළ එන්නත් මාත්‍රා කුමන රෝහල් වෙත යැව්වාද? ඒවා ලබා­දුන් වාට්ටු මොන­වාද? මෙම එන්නත් ලබා­දී­මෙන් පසු යම් අසා­ත්මි­ක­තා­වක් සිදුවී හෝ යම් ප්‍රති­ක්‍රි­යා­වක් සිදුවී කිසි­යම් රෝගි­යකු මර­ණ­යට පත්වී තිබේද? කව­රෙකු හෝ මේ වන විටත් රෝගී තත්ත්ව­යෙන් සිටීත්ද? එම රෝගීන්ට අදා­ළව ඇති රෝගය වර්ගී­ක­ර­ණය කරන්නේ කෙසේද? ඒ සම්බ­න්ධ­යෙන් වන විශේ­ෂඥ මතය කව­රේද? මර­ණ­යට පත්වූ රෝගීන් සිටිත් නම් ඔවුන්ගේ මරණ පරී­ක්ෂණ වාර්තාව මෙන්ම, එම රෝගීන්ගේ දුර­ක­තන අංක, ලිපින සහිත සවි­ස්තර නාම­ලේ­ඛ­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දෙන ලෙසට ප්‍රශ්නා­ව­ලි­යක්ද සහි­තව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට යොමු කර ඇතැයි ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය ඊයේ (08) අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථාවේ දී මෙම කරුණු ඉදි­රි­පත් විණී.

මෙම සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරි­සර අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත යන අය­ව­ලුන් ඇතුළු සැක­ක­රු­වන් 09 දෙනකු බන්ධ­නා­ගා­රය මගින් අධි­ක­ර­ණය හමු­වට ඊයේ (28) ඉදි­රි­පත් කර තිබුණු අතර පස්වැනි සැක­කරු ඇප මත සිටි­මින් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු එම නඩුවේ සැක­ක­රු­වන් 07 දෙන­කුගේ ඇප ඉල්ලීම් අධි­ක­ර­ණය විසින් ඉකුත් මාර්තු මස 14 වැනිදා ප්‍රති­ක්ෂේප කරනු ලැබූ අතර, නඩු විභා­ගය අව­සන් වන­තුරු එම සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස ද නියෝග කෙරිණී.

ඒ අනුව එම සැක­ක­රු­වන් ලබන 22 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට අධි­ක­ර­ණ­යෙන් නියෝග නිකුත් විය.

මෙම නඩුවේ 10 වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් සමන් රත්නා­යක, 11 වන සැක­කාර වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන යන සැක­ක­රු­වන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝ­ගය හෙට (10) සිදු කරන බව නියම කළ අධි­ක­ර­ණය එම සැක­ක­රු­වන් දෙදෙනා එදින තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­ම­ටද අධි­ක­ර­ණ­යෙන් නියෝග නිකුත් විණි.

පැමි­ණිල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය මෙසේ ප්‍රකාශ කළාය.

‘‘ස්වාමිනී, මෙම සිද්ධි­යට අදා­ළව දෙවැනි සහ අට­වැනි සැක­ක­රු­වන් රිට් අයැ­දු­ම්පත්‍ර ඉදි­රි­පත් කරලා තියෙ­නවා. මේ වන විට එහි විම­සීම් සිදු­වෙ­මින් පව­ති­නවා. අදාළ ප්‍රමි­ති­යෙන් තොර එන්නත් මාත්‍රා භාවිත කරලා යම් රෝගි­යකු මිය ගියාද නැත­හොත් මේ වන විටත් රෝගී වී ඇත්ද යන්න සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල ලබා­දෙන ප්‍රශ්නා­ව­ලි­යට පිළි­තුරු සහිත වාර්තා­වක් ලබන මැයි මස 30 වැනි­දාට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටි­නවා. ඒ වාර්තා­වෙන් පසු ඊට වග­කිව යුතු නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කළ හැකි වෙනවා.”

අධි­ක­ර­ණය – මෙම එන්නත් ලබා­දී­මෙන් පසු කිසි­යම් අයකු මර­ණ­යට පත්වෙලා තිබෙ­නවා නම්, ඒ ඒ අධි­ක­රණ බල සීමා­වන්ට අයිති මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් ඉදි­රියේ තමයි ඒවා විම­සිය යුතු වෙන්නේ. කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ බල­සී­මාවේ වුණොත් තමයි ඒක මේ අධි­ක­ර­ණයේ හෝ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ කෙරෙන්නේ.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය – ස්වාමිනි, එලෙස මර­ණ­යක් වෙලා තියෙ­නවා ද කියලා හොයලා බලන්න තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට නියෝ­ග­යක් ලබා දුන්නේ. ඔවුන්ගේ ඥාතීන් කවු­රුන්ද, කුමන ප්‍රදේ­ශ­යක ද යන්න කරුණු ඇතු­ළත්ව. පැමි­ණිලි පාර්ශ්වය වූ අදාළ සිවිල් සංවි­ධා­නය ලබා­දුන් වාර්තා සම්බ­න්ධ­යෙන් එම රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සමඟ සාක­ච්ඡා­වක් පැවැ­ත්වූවා.

අධි­ක­ර­ණය – නෛතික සිද්ධා­න්තය අනුව තමයි මේ විම­ර්ශන කළ යුතු වෙන්නේ. මේ රෝගීන් මිය ගිහිල්ලා තියෙන්නේ කොහො­මද, යම් අසා­ත්මි­ක­තා­ව­ය­කින්ද, නැත්නම් වෙන කුමන හෝ දෙය­කින් ද කියලා විම­ර්ශ­න­යක් කරල තමයි බලන්න වෙන්නේ.

මෙහි දී විවෘත අධි­ක­ර­ණයේ දී තමන්ට කරු­ණක් කීමට අව­සර දෙන ලෙසට මෙම නඩුවේ පළමු සැක­කරු වන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කාර සුගත් ජානක ප්‍රනාන්දු යන අය මහේ­ස්ත්‍රා­ත්ව­රි­ය­ගෙන් ඉල්ලා සිටි­යේය.

පළමු සැක­කාර සුගත් ජානක ප්‍රනාන්දු – ස්වාමිනි, අව­ස­රයි. මට තේරුම් ගන්න බැරි දෙයක් තියෙ­නවා. මේ විම­ර්ශ­නය දණ්ඩ නීති සංග්‍ර­හය, අප­රාධ නඩු විධාන සංග්‍ර­හය හෝ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මොන එක­කින් විම­ර්ශ­නය වුණත් ඒ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඇති බලය කුමක්ද එය විම­ර්ශ­නය කරන්න කියන එක. මේ බෙහෙත් බාල බෙහෙත් කියලා නිත­රම මාධ්‍ය­යෙන් කිය­නවා. මේ බෙහෙ­ත්වල තියෙන බාල බවට කිසිම රසා­ය­නික වාර්තා­වක් මෙතෙක් ඉදි­රි­පත් වෙලා නැහැ. එම්ආ­ර්අයි එක කියන්නේ බැක්ටී­රි­යා­වක් කියලා. ජාතික රෝහලේ ඔක්කෝම මේ බෙහෙත ගැහැවා නම් ඊට වඩා මැරෙන්න ඕන. මේ බෙහෙත් ගැන දන්නේ මම ඇරෙන්න තවත් 7 දෙනෙක් විත­රයි. මේ බෙහෙත් බාල බෙහෙත් කියලා කියන්න මේ මම ඇතුළු මේ හත් දෙනා හැරෙන්න කියන්න වෙන දන්න කෙනෙක් නෑ. එහෙම නම් නොදන්න අය කොහො­මද මේ බෙහෙත් ගැන බාලයි කියලා කියන්නේ. මේ බෙහෙත් ශ්‍රී ලංකාවේ හදන්න පුළු­වන්.

අධි­ක­ර­ණය – මේ බෙහෙත් ලංකා­වේද හැදුවේ?

සැක­කරු – ඒක දැන් මට මෙතන කියන්න බෑ. තාම මේ බෙහෙත රෝහ­ල්වල තියෙ­නවා. මෙච්චර කාල­යක් මේ බෙහෙත ගැන ගැට­ලු­වක් තිබ්බේ නැහැ. මේ බෙහෙත ගෙන්වන්න ඉන්දි­යානු ආය­ත­න­යක් ආවා. ඒ තර­ග­කාරී ආය­ත­නය නිත­රම මට ගැටලු ඇති කළා. ඒ අයත් එක්ක මට නිත­රම ගැටුම් තිබුණා. මම වෙළෙ­න්දෙක්. මම බෙහෙත් හැදු­වාම ඉන්දි­යා­වට ප්‍රශ්න­යක්. ඉන්දි­යා­ව­ට­වත් නැති මැෂින් මා ළඟ තියෙ­නවා. මේක විද්‍යා­ත්මක ඇසින් බලන්න ඕන. මගේ කම්හල නීති විරෝධී කම්හ­ලක් නෙමෙයි. ඒකට 2005 දි ප්‍රංශ රජය තමයි ආධාර කළේ. මට මේ රටේ ප්‍රබල අය නඩු දැම්මා. මම අහ­නේනේ මේ විම­ර්ශ­නය කරන්න සී අයි ඩී එකට බල­යක් තියෙ­වාද කියලා.”

අධි­ක­ර­ණය – ඔබ ඔය ඔතන ඉඳලා කියපු දෙයට වටි­නා­ක­මක් තියෙ­නවා කියලා ඔබ හිත­න­වාද? ඉල්ලී­මක් කළ නිසයි අව­සර දුන්නේ. නමුත් ඔබට කියන්න දෙයක් තියෙ­නවා නම් අප­රාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකා­රව අධි­ක­ර­ණය ඉදි­රියේ රහස්‍ය ප්‍රකා­ශ­යක් දෙන්න පුළු­වන්. එහෙම නැතුව ඔය ඔතන ඉඳලා කියන දේවල් අතන මෙතන ඉඳලා කියන දේවල් වගේ. ඒ දේව­ල්වල නීති­මය වටි­නා­ක­මක් නැහැ. ඔබ ඔය කියන්න ඇත්තේ ඔබ දන්න නීතිය අනුව හෝ කවුරු හරි නීති උප­දෙස් දීලා නේ. එහෙම නීති උප­දෙස් දුන්නට හරි­යන්නේ නැහැ. මේ සිද්ධිය ට නීති­ප­ති­ව­රයා මැදි­හ­ත්වෙලා තියෙ­නවා. එත­කොට ඔබ දන්න සාමාන්‍ය නීතිය මේකට හරි­යන්නේ නැහැ. තමුන්ට නීති පොත් ගෙන්නලා නීතිය උග­න්නන්න මට බෑ. ඔබ කළේ ඇප ඉල්ලී­මක්ද? නැත්නම් මොකක්ද?

සැක­කරු – ඇප ඇයැ­දී­මක් වගේම කරුණු ඉදි­රි­පත් කිරී­මක් ස්වාමිනි.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය – මෙම සැක­කරු ඇහුවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට තියෙන අයි­තිය ගැන. අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 සිට 120 දක්වා වගන්ති කිය­වලා බැලුවා නම් ඔහුට මේකට උත්තර ලැබෙයි. මෙම බෙහෙත් මාත්‍රා දෙකේ තිබූ ද්‍රාව­ණය මනුෂ්‍ය ශරී­ර­යට අහි­ත­කර සංඝ­ටක අන්ත­ර්ග­තව ඇති බවත් ඒවා භාවිත කිරීම මනුෂ්‍ය ශරී­ර­යට අහි­ත­කර බව­ටත් වෛද්‍ය වාර්තා මගින් තහ­වුරු වෙලා තිබෙ­නවා. මෙම සැක­ක­රු­ගෙන් අධි­ක­ර­ණය ප්‍රශ්න­යක් ඇහුවා. මේ බෙහෙත් ලංකා­වේද හැදුවේ කියලා. එත­කොට ඔහු එම ප්‍රශ්න­යෙන් මග ඇරියා.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර ලබන 22 තෙක් නඩුව කල් තැබීය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙති.

මෙහි පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර යන අය පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම්කර ඇත. එම සැක­කරු මේ වන විට විදෙස් ගත සිටියි.

සැක­ක­රු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනූජ ප්‍රේම­රත්න, ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න, නීතිඥ නුවන් ජය­ව­ර්ධන යන මහ­ත්වරු ඇතුළු නීතිඥ මඬු­ල්ලක් සහ අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

DMN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website